ජනතාවට වසවිස පොවා රට නඟමුද..? වනසමුද..?

277

ජනතාව රෝගීන් කරමින් ඉපයීමට අදහස් කරන ආදායම තුළ රෝහල් සඳහා පොලිස් හා අධිකරණ සඳහා වැය කරන මුදල අපේක්ෂිත ආදායමටත් වඩා තෙගුණයක් අධික බැව් ගෙවී ගිය වසර 10ක සෞඛ්‍ය පොලිස් අපරාධ සහ බන්ධනාගාර වාර්ථා අනුව සලකා බලන්නේ නම් නව සුරාබදු යෝජනා කෙතරම් අහිතකර දැයි දැනෙනු ඇත.

පසුගියදා සුරාබදු අතිරේක කොමසාරිස් ජනරාල්තුමා මහත් අභිමානයෙන් යුතුව කරන ලද මාධ්‍ය ප්‍රකාශය ඇසූවිට එතුමාගේ ප්‍රකාශය තුළ මිනිසුන් ජීවත්කරවීමට ද මරා දැමීමට දැයි මා තුළ සැකයක් ඇති විය. විශේෂයෙන්ම ජීවත්වීමම අර්බුධකාරී ගැටලු රාශියක්ව පවතින මොහොතක වැටුප් වැඩි කිරීම වැනි උද්ඝෝෂණ ව්‍යාපාරයන් මර්දනය සඳහා රජය කුරිරු ලෙස ක්‍රියාකරන සමයක ජීවත්වීම වෙනුවට මිනිසුන්ට මරණය කැඳවන සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශය තරයේ හෙළා දකිමි. විදුලි බිල ඒ වාගේම අක්‍රමවත් බදු අය කිරීම් සහ විවිධ නිෂ්පාදන වියදම් සීඝ්‍රයෙන් අහස උසට ඉහළ නැගෙද්දී දේශීය කර්මාන්ත වසා දමද්දී කෘෂිකාර්මික අපනයනයන් සඳහා වුවද විවිධ බාධා පැමිණෙමින් ඔවුන් අධර්යමත් කරද්දී ඒ කිසිවක් පිළිබඳව කිසිඳු තැකීමක් නොකරන සමයක සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් තවදුරටත් මිනිසුන් වෙත වක්‍රාකාරව හෝ මරණය වෙත ළඟාවීමේ මෙම කූට ව්‍යායාමය ශ්‍රී ලාංකික අනාගත දරු පරපුර විනාශ කිරීමේ කොන්ත්‍රාත්තුවක් දැයි සැක පළ කරමි.

එතුමාගේ ප්‍රකාශයට අනුව එක් නගරයක් තුළ සංඛ්‍යාත්මකව සුලබව ඇති මත්පැන් හල් අඩු කිරීමත් මත්පැන් හල් නොමැති නගර හෝ ප්‍රදේශයන්හි නව බලපත්‍ර ලබාදීමටත් ඉතා අනුකම්පා සහිත ඔහුගේ ප්‍රකාශය පුදුම සහගතය. සංචාරක ව්‍යාපාරයන් පවත්වාගෙන යන්නන් සඳහා බලපත්‍ර ලබාදීම වේගවත් කිරීමත් එම බලපත්‍ර ලබාදීම සුලභ කිරීමට සහ දැනට ඇති දැඩි නීතීන් නම්‍යශීලී කරමින් ඒ සඳහා ඔවුන්ට වැඩි පහසුකම් ඇතිකිරීමටත් ඔවුන් කෙරෙහි මහත් අනුකම්පා සහිත දයාවෙන් යුතුව සමහර බලපත්‍ර සඳහා පනවා ඇති අධික බදු ගාස්තුව අඩු කිරීමටත් දැනට නව නිෂ්පාදනයන් සඳහා අයඳුම් කරන්නන්ට කඩිනමින් ඒ සඳහා සහන සහිතව අවස්ථා ලබාදීමටත් සංචාරක ව්‍යාපාරයන්හි නිරත වූවන් විසින් රජයට ගෙවනු ලබන බදු මුදල ඔවුන්ට දරාගත නොහැකි බැව් දුක් ගැනවිල්ලක් ඇති බැවින් එම බදු බර අඩු කිරීමටත් එතුමා කරන නව ප්‍රකාශය තුළ ඉතා පහසුවෙන් දිරි ගැන්විය හැකි නිෂ්පාදන නොතකා හැර මිනිසුන් වෙත මරණය ළඟා කරදීමේ උපරිම උත්සාහය ගැන මම පුදුමයට පත් වෙමි.

ඔහුගේ ප්‍රකාශය අනුව මෙම වසරෙහි බිලියන එකසිය දහහතක් රජයට ලබාදීමේ ඉලක්කය සපුරාලීමට නොහැකිවීම ගැන එතුමා කනගාටු වන අතර බිලියන එකසිය අසූවක් එකසිය අසූපහක් අතර සංඛ්‍යාවක් ඔවුන් අපේක්ෂා කරන අතර පසුගිය කාලය තුළ පරිභෝජනය අවම වූ බව පිළිගනු ලබන අතර රජයට ආදායම් ලබාදීම සඳහා මහජනතාවගේ සුභසිද්ධිය නොතකා ඕනෑම පියවරකින් මුදල් උපයා ගැනීම අත්‍යවශ්‍ය කාර්යක් බැව් එතුමාගේ ප්‍රකාශයයි.

සමස්තයක් හැටියට ගත් කළ රටක් දියුණුව කරා මෙහෙයවීමේදී ආධ්‍යාත්මික, සාමාජික, සංස්කෘතික සහ ආර්ථික වටිනාකම් සහිත සංවර්ධන ප්‍රවේශය පිළිබඳව වගකිවයුත්තන්ගේ නිසි අවධානය නොමැති කමින් නිදහසින් පසු අද මේ වනතුරුත් රට අර්ධ සංවර්ධනය හෝ වූ සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යක් ලෙස හඳුනාගනිමින් ජනතාව

රෝගියන් බවට පත් කළ හෝ රට සංවර්ධනය කිරීමට ගන්නා තීන්දු තීරණ කොතරම් අමනෝඥ දැයි සලකා බැලීමට මෙන්ම දේශීය කෘෂිකාර්මික හා කාර්මික නිෂ්පාදනයන් සපුරාලන්ට විවිධ මට්ටමින් එම රැකියා අවස්ථාවන් පවා අහිමි කරමින් තවදුරටත් සේවා වියුක්තිකයන්ගේ සංඛ්‍යාවද සීඝ්‍රයෙන් ඉහළ දමමින් රජය සුරාබදු දෙපාර්තමේන්තුව තුළින් මෙම සිදුකිරීමට අපේක්ෂිත ජන පීඩික ජන රෝගී යෝජනා වහා වෙනස් කළ යුතු යැයි සිහිපත් කරමි. එමෙන්ම ජනතාව රෝගීන් කරමින් ඉපයීමට අදහස් කරන ආදායම තුළ රෝහල් සඳහා පොලිස් හා අධිකරණ සඳහා වැය කරන මුදල අපේක්ෂිත ආදායමටත් වඩා තෙගුණයක් අධික බැව් ගෙවී ගිය වසර 10ක සෞඛ්‍ය පොලිස් අපරාධ සහ බන්ධනාගාර වාර්ථා අනුව සලකා බලන්නේ නම් නව සුරාබදු යෝජනා කෙතරම් අහිතකර දැයි දැනෙනු ඇත.

දිනෙන් දින රටේ සියලු ප්‍රශ්න අහස උසට නැඟී ජනතාව බදු බරින් පීඩා විඳිද්දී එවැනි ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇති අවදියක ජනතාව තවදුරටත් පීඩාකාරීව, හිංසාකාරීව කබලෙන් ලිපට ඇදෙනු පිණිස සුරාබදු දෙපාර්තමේන්තුව ගන්නා මෙම උත්සාහය පිළිබඳව රටට ආදරය ඇති අනාගත පරපුර කෙරෙහි මහත් වූ අභිමානයක් අපේක්ෂා කරන ලක්ෂ කෝටි ගණන් වියදමින් ඉදිවෙන පූජනීය ස්ථාන පවා විනාශකාරී මඟකට යොමුකර වන මෙම නව යෝජනාවලිය හකුලා ගන්නා ලෙස බලකරන මෙන් අති පූජ්‍ය මහනාහිමිවරු ප්‍රධාන සියලු ආගමික නායකයන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. එමෙන්ම පක්ෂ පාට, ජාති ආගම්, කුලමල බේදයකින් තොරව දෑ හිතකාමී සෑම සියලු දෙනා වෙත ඉතා කරුණාවෙන් ඇරයුම් කරනු ලබන්නේ මෙම අතිශය භයානක සමාජ පරිහානියක පෙර නිමිති මැනවින් අවබෝධ කොට ගෙන ඊට එරෙහි වන ලෙසත්, මෙම කූට ව්‍යාපාරයන් පරදවනු පිණිස දැන්වත් එකතු වන ලෙසය.

නාලන්දා කීර්ති ශ්‍රී
පූජ්‍ය කුප්පියාවත්තේ බෝධානන්ද හිමි
මිතුරු මිතුරෝ මානව ඇගයුම් සංවර්ධන
පර්යේෂණ හා අධ්‍යාපනික ආයතනය

advertistmentadvertistment
advertistmentadvertistment