ජනතා ප්‍රශ්න නොවිසඳා ඡන්දයකට යනවා නම් එම ඡන්දය කටුගා දමා ඉතිහාසගත වන වැඩක් කරමු – වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමි

88

ගැබිණි මව්වරුන්, කිරි දෙන මව්වරුන් ඇතුළු කුඩා දරුවන් මන්දපෝෂණයට ඇද දමා ජනතාවගේ ප්‍රශ්න නොවිසඳා දේශපාලනඥයන් ඡන්දයකට යනවා නම් උදෑසනම ඡන්ද පොළට ගොස් ඡන්දය කටු ගා දමා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉතිහාසගත වන වැඩක් කළ යුතු යැයි මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමිපාණන් පැවසූහ.උන්වහන්සේ මේ බව පැවසූයේ මිහින්තලා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා තුලාන 25ක ගැබිණි මව්වරුන්, කිරි දෙන මව්වරුන් විශාල පිරිසකට රුපියල් කෝටියකට ආසන්න මුළු වටිනාකමකින් යුතු පෝෂදායී ආහාර මල්ලක් බෙදා දෙමින් පෙරේදා (08දා) පස්වරුවේ මිහින්තලේදී පැවති වැඩසටහනක දීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද පැවසූහ.

කුසේ ඉන්න දරුවා දන්නෙ නෑ මේ රට විනාශ කළේ කවුද කියලා. ඔය අතේ ඉන්න දරුවා දන්නේ නෑ මේ රටට, මේ හෙනය ගෙනාවෙ කවුද කියලා. ඔබලා මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ, නුවර කලාවියේ උතුරුමැද, රජරට වැව් බැඳි රාජ්‍යයේ, රටට බත සපයන රාජ්‍යයේ පුරවැසියන්. අද රටට බත සපයපු අම්මලා තාත්තලා කුසගින්නේ. මේ කුසේ ඉන්න දරුවත් කුසගින්නේ මන්දපෝෂණයෙන් පෙළෙන තත්වෙට මේ රට ගෙනාවේ කවුද? සිංගප්පූරුවට ඉහළින් හිටපු අපි පල්ලෙහාට වැට්ටුවේ කවුද? මේ රටේ නිදහසට දැන් අවුරුදු 75 ක් වෙනවා මෙවර ලබන මාසයේ 4 වෙනිදා සමරනවා දිළිඳු රටක අභිමානය. දැන් ඔන්න ඡන්දයක් එනවලු‍, දේශපාලන වේදිකාවක් සකස් කරන්න, දේශපාලනඥයන්ගේ කෑම බීම ටික සපයන්න, දේශපාලනඥයන්ගේ වේදිකාවේ වායු සමීකරන හයි කරන්න, ඒ සැප සම්පත් ලබා දෙන්නේ ඔබ තමුන් වහන්සේලාගේ දරුවගෙන් පලි අරගෙන. ඒ නිසා හොඳට තේරුම් ගන්න දයාබර මව්වරුනි අපි වැරැද්දක් කළා. එන එකාට ජය වේවා කිව්වා. කවුරුත් අපිට ජයවේවා කිව්වේ නෑ. කොහොමත් ඒ අයට ජයයි. දැන් ඔයාල ගාවට කවුරුත් එනවද?

හාල් ටිකක් අරන් දෙන්න. ළමයට පොත් ටිකක් අරං දෙනවද? නැහැ. ඒ නිසා ආත්මාර්ථකාමී මිනිස්සු තමයි දේශපාලනඥයෝ කියන්නේ. ජාති භේදය අවුස්සනවා. ආගම් බේදය අවුස්සනවා. පක්ෂ පාට අවුස්සනවා. අපේ රටේ ගිය අවුරුද්දේ රාජ්‍ය වෘත්තියේ 30000 ක් තාම යැව්වා. එහෙම ගියාම හිඩැසක් ඇති වෙලා තියනවා. රටේ අලු‍තෙන් පත්වීම් කරලා නැහැ. අලු‍ත් දැක්මක් නැහැ.නව බඳවා ගැනීමක් නැහැ. විශ්‍රාම යන කොට තවත් පිරිසක් බඳවා ගන්න ඕනේ. එහෙම ක්‍රමවේදයක් නැහැ. අප්‍රේල් වෙන කොට තව විශාල පිරිසක් විශ්‍රාම යනවා. ආයතන දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩලවල නව බඳවා කිසිවක් ගැනීමක් නැහැ. එතකොට මේ රාජ්‍ය ආයතන ටික ඔක්කොම විකුණන්න පුළුවන් මේ අයට. ඒකට තමයි මේ සැරසෙන්නේ. එතකොට මේවා පාඩු ලබන ආයතන කියලා නම් කරන්න ලේසියි.විවිධ මුහුණුවලින් විවිධ පක්ෂ හදාගෙන එන්නේ පරණ සතාමයි. දැන් අම්මා තාත්තා නැන්දම්මා මස්සිනා කියා ගෙන එයි. රැවටෙන්න නම් එපා. ඡන්දය දවසට අපි උදේම ගිහිල්ලා ඒ ඡන්දය කටු ගාන්න ඕනේ. මේ අයට ඇප නැති කරන්න ඕනේ. ලංකා ඉතිහාසයේ වාර්තා ගත වෙන විදිහට ඉතිහාස ගත වෙන විදිහට කවුරුත් මේ සඳහා සූදානම් වෙන්න ඕනේ. අනිත් එක දැන් කවුද ඡන්දෙ ඉල්ලන්නේ. අපි ඉල්ලනවද? ඔයාලා ඉල්ලනවද? නැහැ. එදා වේල කන්න නැතුව ඉන්න අපිට ඡන්දයක් ඕනෙද? අට දහස ගානක් තවත් අවුරුදු 5කට නඩත්තු කරන්නේ මොකද,

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment