ජනපතිට චීනය දුන් ප්‍රතිචාරය වැදගත් ණය ප්‍රශස්තකරණය සුබදායක මගක යනවා – කඩුවෙල එජාප ප්‍රධාන සංවිධායක බිනර ජයවර්ධන

26

චීනය පවා ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව අපේ රටටත් ජනාධිපතිතුමාටත් ධනාත්මක පිළිතුරක් දී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි සමාලෝචනයත් සමග ඉදිරියට යමින් එහි සෙසු වාරික ලබාගැනීමට යහපත් දිශානතියකට රට මෙහෙයවීමට ජනාධිපතිතුමන් සමත් වී තිබෙනවා යැයි එජාප මූලස්ථානයේ ඊයේ (23දා) පැවති මාධ්‍ය හමුවේදී කඩුවෙල එජාප ප්‍රධාන සංවිධායක බිනර ජයවර්ධන මහතා පැවසීය.

එහිදී අදහස් දැක්වූ ඔහු චීන ජනාධිපතිවරයා මුණ ගැහුණු ගමන සාර්ථක එකක් බවට පත්වෙලා තිබෙනවා. චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ධනාත්මක පිළිතුරක් ලබාදීලා තිබෙනවා. ඔවුන් ලබාගත් ණයවලින් ඇමෙරිකන් ඩොලර් බිලියන හතරක් ප්‍රතිව්‍යුහගත කිරීමට චීන එක්සිම් බැංකුව එකඟවෙලා තිබෙනවා. ඊට අමතරව චීනය සමග පැවැත්වූ සාකච්ඡා සියල්ල සාර්ථක බවට පත්වෙනවා. ඒ වගේම ‘එක් මාවතක් එක් තීරයක්’ වැඩසටහන යටතේ කොළඹ සහ හම්බන්තොට වරායන් දෙකම සංවර්ධනය කිරීමට සැලසුම් සකස් වෙනවා. චීන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කරන්න අවශ්‍ය පරිසරය ඉදිරියේදීත් සකස් වෙනවා. ඒ වගේම පැරිස් සමාජය සහ ඉන්දියාව අපිට ප්‍රතිව්‍යුහගතකරණයට අවශ්‍ය උදව් ලබාදීමට සූදානමින් ඉන්නවා. ඒ නිසා ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය ඉතාම සුබදායක තත්ත්වයට පත්වෙමින් තිබෙනවා.

ඒ වගේම ඊශ්‍රායල්, පලස්තීන ගැටලුවත් එක්ක විශේෂයෙන්ම ලෝකයේ තත්ත්වය ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාවටත් බලපානවා. ගෑස් සහ ඉන්ධන ලබාගැනීම කියන ද්විත්වයට මේ ගැටලුව බලපෑමට ඉඩ තිබෙනවා. එවැනි අභියෝග සමග ඉදිරියට යෑමටයි මේ රටට සිද්ධ වෙලා තියෙන්නේ කියන කාරණය ජනාධිපතිතුමා විටින් විට රටේ ජනතාවට පහදල දෙනවා.

විශේෂයෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමට ඇතිවූ එකඟතාවය ස්ථිර වී තිබීම තවත් වැදගත් සාධකයක් විදිහට අපට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ජෛව විවිධත්වයට හානිවීම සහ දේශගුණික විපර්යාස වලින් සිදුවන හානිය අප වැනි ඝර්ම කලාපීය රටකට බරපතළ ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ආර්ථිකය ඉදිරියට යෑමේදී, විශේෂයෙන්ම භූගෝලීය වශයෙන් ගත්තත් ලෝක ජනගහනයෙන් සියයට හතළිහක් පමණ වාසය කරන්නේ මේ ඝර්ම කලාපීය රටවල් වලයි. ‘එක තීරයක් එක මාවතක්’ වැඩසටහනට රටවල් අසූ අටක් සම්බන්ධ වෙනවා. එම නිසා ලෝකයට ඒ පණිවිඩය ගෙනියන්න සුදුසුම වේදිකාව එය බව සඳහන් කිරීම අවශ්‍යයි.
කෝට්ටේ එජාප ප්‍රධාන සංවිධායක නීතිඥ දිනේෂ් විදානපතිරණ මහතාද මෙහිදී අදහස් දැක්වීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment