ඉන්දියාව හඳට රනිල් ත්‍රිකුණාමලයට!

764

චන්ද්‍රයානය හඳට ගිහින්. රනිල් ත්‍රිකුණාමලයට ගිහින්. ඉන්දියාව හඳ අයිති කරගන්න එකක් නැහැ. එහෙම කරන්න බෑ. තවත් ලෝක බලවතුන් ඉන්නවා. ඔව් ඉන්දියාවත් දැන් ලෝක බලවතෙක්. හඳට ගිය හතරවැනි රාජ්‍යය. ඉන්දියාව ත්‍රිකුණාමලයේ නම් අණසක පතුරවාවි. ඒ රනිල් තවදුරටත් බලයේ හිටියොත්. ඒත් දැනට රනිල්ට විකල්පයක් පේන තෙක් මානයක නැහැ. වෙනත් මානයක ඉන්නවාද දන්නෙ නැහැ. බටහිර විද්‍යාඥයන් නම් අපට නොපෙනෙන මාන හයක් ගැන කියනවා. ඒ සදෙවු ලොව නම් නො වෙයි.

හඳට යානයක් යැවීමෙන් ඉන්දියාව පෙන්නුම් කර ඇත්තේ තම ආර්ථික ශක්තිය මෙන් ම තාක්ෂණික ශක්තිය. ඉන්දියාවේ විශිෂ්ටයන් ඉන්නවා. ඔවුනුත් එක්තරා ආකාරයකින් දාසයන් තමයි. මෙරට විද්වතුන් කියන අයට තමන් ද දාසයන් කී විට තරහ යනවා. මට මෙන් ම පෘතුගීසි නමක් තියෙන කොළඹ මොටාවේ සමහර විට මගේ කතන්දර අහගෙන සිටි ඉතාමත් දේශප්‍රේමී සිංහල බෞද්ධයකු කීවේ මා සිල්වා බවත්, දෙමළ බවත්, සිංහල බවක් පෙන්වන බවත්. මෙය දැන් අවුරුදු තිහකට වැඩි කාලයක් තිස්සේ කරන චෝදනාවක්.

අප කේරළයෙන් පැමිණි බවයි කියන්නේ. අපේ මුත්තා නම් පැමිණ ඇත්තේ රාජස්ථානයෙන් දඹදෙණි යුගයේ. ඒ කෙසේ වෙතත් සිංහලයන්ගෙන් යම් ප්‍රමාණයක් පිටරටින් විශේෂයෙන් ම භාරතයෙන් පැමිණ මෙරට වෙනත් ම (සිංහල) සංස්කෘතියක් ගොඩ නැගූ අය හා පසුව පැමිණ ඒ සංස්කෘතියට අවශෝෂණය වූ අය. මිනිසුන් ජාතියක් ජනවර්ගයක් ජන කොටසක් වන්නේ ජානමය වශයෙන් නොව සංස්කෘතික වශයෙන්. අපේ පරම්පරාවේ අය සිංහල වෙලා අවුරුදු අටසීයක් පමණ වෙනවා.

සිංහලයනට භාරතය සමග සම්බන්ධකම් තියෙනවා. එහෙත් අපි භාරතයේ කිසිම තැනක නැති සංස්කෘතියක් මෙරට ගොඩනඟලා තියෙනවා. මෙරට ඉන්න ජනකොටස් වගේ නොවෙයි. ඔවුන් කර ඇත්තේ භාරතයෙන් මෙරටට ගෙනා සංස්කෘතීන් ඒ ආකාරයෙන් ම පවත්වාගෙන යෑමයි. ඉන්දියාවට සිංහලයන් සමග ඇති මූලික ප්‍රශ්නයත් එයයි. අපේ ස්වාධීනත්වය නිර්මාණශීලීත්වය හා නිවහල් බව.

අද ඉන්දියාව බිහිවුණේ ඉංගිරිසින් ඒ ප්‍රදේශයට පැමිණීමෙන් පසු. 1947 දී එය දෙකඩ වුණා. පසුව බංග්ලාදේශය බිහි වී තෙකඩ වුණා. ඉන් පෙර භාරතයේ කිසිදා ජාතියක් වාසය කළ රාජ්‍යයක් තිබුණේ නැහැ. ඔවුන්ට උතුරේත් දකුණේත් තිබුණේ වාංශික රාජ්‍ය. අප ජාතියක් ලෙස රාජ්‍යයක් ගොඩ නඟා අවුරුදු දෙදහසක් පමණ වෙනවා. අප කිසිවකුට යටත් වී නැහැ. විවිධ ආක්‍රමණ මධ්‍යයේ යටත් නොවී සිටීම ම වැදගත් කරුණක්. 1815 දී සිදු වූයේත් ගිවිසුමක් මගින් රටේ පාලනය ඉංගිරිසින්ට භාරදීමක් පමණයි.

එහෙත් ඉංගිරීසින් ලෝක කපටීන්. ඔවුන් ගිවිසුම කඩකළා. අපත් වෙනත් යටත්විජිතවල අය මෙන් ම දාසයන් කෙරුණා. ඒ අධ්‍යාපනයෙන් හා ආර්ථිකයෙන්. මා සිංහලයකු නො වේ යැයි කියන සුපිරි දේශප්‍රේමියා කියනවා තමන් දාසයෙක් නොවේය කියා. ඉංගිරිසින්ට හා අද වෙනත් අයට සේවය කරන්නන් දාසයන්

නො වේ නම් වෙන කවුරුන් ද? ඇතැමුන් ඒ දිනවල හිතුවා තමන් සිවිල් සේවකයන් නිසා ඉහළ නිලධාරීන් කියා. නැහැ ඔවුනුත් ඉංගිරිසින් ඇති කළ තවත් සේවයක (Civil service) සේවකයන් පමණයි. මොටාවේ උගන්වන අය ඉංගිරිසින්ට (බටහිරයන්ට) අවශ්‍ය ආකාරයට ඔවුන්ගේ දැනුම බෙදා දෙන දාසයන් පමණයි. මා ද එක් කාලයක ඒක කෙරුවා.

ඉන්දියාව චන්ද්‍රයානයක් යැවුවට අපට බැහැ. අපට ඔවුන්ට මෙන් විශිෂ්ට දාසයන් නැහැ. අපට බටහිර සංස්කෘතික ආධිපත්‍යයේ ආර්ථික ක්ෂෙත්‍රයේ අදානිලා බිහිකර ගැනීමට බැහැ. ස්වාභාවික විද්‍යාවේ ද තාක්ෂණයේ ද ආර්ථික විද්‍යාවේ ද අපට චන්ද්‍රසේකර්ලා, ඛොරනලා, රාමන්ලා, සෙන්ලා, රාමක්‍රිෂ්ණන්ලා, බැනර්ජිලා නැහැ. ඒ අය නොබෙල් ත්‍යාග ලාභීන්. ඒ අතර බෝස් සහා වැන්නන් නොබෙල් තෑග්ග සඳහා නිර්දේශ වුණා. දැන් කියන්න එපා මා බටහිර නොබෙල් තෑග්ග අගය කරනවා කියා. එයට අමතර ව අද ඇමරිකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂෙත්‍රයේ ප්‍රධාන විධායක නිලධාරීන් යම් පිරිසක් ඉන්දියානුවන්.

එහෙත් ඒ අයත් විශිෂ්ට වුණත් දාසයන්. ඔවුන් බටහිර දැනුම යොදාගෙන ඇතැම් ප්‍රශ්නවලට පිළිතුරු සැපයූ අය. ඔවුන් අයින්ස්ටයින් බෝර් ඩිරැක් ගණයේ අය නොවෙයි. ඉන්දියානුවන් තාක්ෂණයේ කරන්නෙත් බටහිර දැනුම අනුකරණය කිරීම. චන්ද්‍රයානය යැවුවෙත් එහෙමයි. එසේ නොවූ ඉන්දියානුවා රාමනුජන්. ඔහු තම ක්‍රමය අනුව අලුත් දැනුමක් ගණිතයට එකතු කළා.

අප දාසයන් තමයි. අපට රාමනුජන්ලා නැතුවා නොවෙයි. ඉන්දියාවෙත් තවත් රාමනුජන්ලා ඇති. එහෙත් ඒ කිසිවකුටවත් බටහිර සංස්කෘතික ආධිපත්‍යය යටතේ පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. හාඩි නොවන්නට රාමනුජන්ටත් පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. ඉතාමත් සාමාන්‍ය දාසයන් වූ අපට එසේත් නැත්නම් අප සමාජය විසින් පිළිගැනෙන පඬිවරුන්ට හා ධනවතුන්ට ඉන්දියාවටත් ගැති වන්න සිදු වෙනවා.

රනිල් ත්‍රිකුණාමලයට ගියේ ඒ සඳහා. අපට ත්‍රිකුණාමලය සංවර්ධනය කරන්න බැහැ. ඒත් අපට ඒ සංවර්ධනය අවශ්‍ය වෙලා තියෙනවා. ඒ සඳහා අප ත්‍රිකුණාමලය ඉන්දියාවේ අණසකට පවරා දෙනවා. ඒ සඳහා ඒ ප්‍රදේශයේ බෞද්ධ උරුමයත් පාවා දෙනවා. ඉන්දියාවට ඇත්තේ බෞද්ධ සම්ප්‍රදායක් නොව බ්‍රාහ්මණ සම්ප්‍රදායක්. එය ථෙරවාදී සම්ප්‍රදායට වඩා බටහිර ක්‍රිස්තියානි සම්ප්‍රදායට සමීපයි. සමහර විට අර නොබෙල් ත්‍යාගලාභීන් හා ධනපතීන් බිහිවෙන්නෙත් ඒ නිසා වෙන්න ඇති.

● මහාචාර්ය නලින් ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment