ජාතික වොලිබෝල් ශූරතා තරග හෙට සිට ඇරඹේ

89

මංචි කුසලාන වොලිබෝල් ශූරතා තරග මාලාවේ (2023) සුපර් ලීග් කාණ්ඩයේ කාන්තා හා පිරිමි තරගාවලි හෙට (3දා) සිට ගාල්ල දඩැල්ල ජාතික වොලිබෝල් ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ වේ.

මෙම වසරට නියමිත ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියේ සුපිරි කාන්තා හා පිරිමි කණ්ඩායම් 15 ක් තරග වදින සුපර් ලීග් තරගමාලාව දෙසැම්බර් 24 දක්වා පැවැත්වීමේ දී එහි කාන්තා හා පිරිමි අවසන් මහ තරග එදින පැවැත්වෙන්නේ මහරගම තරුණ සේවා ගෘහස්ථ පිටියේදීය.

මේ අතර එහි කාන්තා තරගාවලියෙන් වරාය අධිකාරි කණ්ඩායම ඉවත්වීම නිසා ඊට සහභාගි වන කණ්ඩායම් ගණන 7 කට සීමාවී තිබේ.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා පැවසුවේ මෙවර ජාතික වොලිබෝල් තරගමාලාවේ ආධුනික කාණ්ඩයේ කාන්තා හා පිරිමි තරගාවලිය දෙසැම්බර් 15, 16, 17 යන දිනවල පේරාදෙණිය ගලහ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බවයි. එහි අවසන් මහ තරග එහිදී දෙසැම්බර් 17 වැනිදා පස්වරුවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ද ඔහු පැවසීය.

මෙහි ශූරයන් හා ශූරියන්, අනුශූරයන් හා තෙවැනි ස්ථාන සඳහා රුපියල් ලක්ෂයේ සිට මුදල් ත්‍යාග ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ.

දෙසැම්බර් 3 වැනිදා පෙරවරු 9 ට යුද හමුදා කණ්ඩායම හා ඔමේගා ලයින් කණ්ඩායම අතර තරගයෙන් මෙවර සුපර් ලීග් කාන්තා තරගාවලිය ඇරඹේ. සුපර් ලීග් පිරිමි තරගාවලියේ ආරම්භය දෙසැම්බර් 7 වැනිදා පෙරවරු 9 ට සිදු වන්නේ ගුවන් හමුදා කණ්ඩායම හා පොලිස් කණ්ඩායම අතර තරඟයෙනි.

පසුගිය 2022 සුපර් ලීග් තරගාවලියේ කාන්තා හා පිරිමි ශූරතා කුසලාන දෙකම ජය ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩා සමාජ සමත් විය.

කාන්තා අවසන් පූර්ව තරග හා තෙවැනි ස්ථානය තේරීමේ තරගය දෙසැම්බර් 6 වැනිදාත් පිරිමි අවසන් පූර්ව තරග හා තෙවැනි ස්ථානය තේරීමේ තරගය දෙසැම්බර් 10 වැනිදාත් පැවැත්වීමට නියමිතය.

ජාතික ශූරතා වොලිබෝල් සුපර්ලීග් තරගාවලියට සහභාගි වන කණ්ඩායම්

පිරිමි තරගාවලිය – මූලික වටය දෙසැම්බර් 7 සිට 10 දක්වා –

සහභාගි වන ක්‍රීඩා සමාජ – ගුවන් හමුදාව නාවික හමුදාව, යුද හමුදාව, පොලිසිය, වරාය අධිකාරිය, විදුලිබල මණ්ඩලය, වෙස්ට් පැසිපික්, ඕෂන් ලංකා

අවසන් මහ තරගය දෙසැම්බර් 24 වැනිදා පස්වරු 3 ට මහරගම තරුණ සේවා ගෘහස්ථ පිටියේ දී

කාන්තා තරගාවලිය – මූලික වටය – දෙසැම්බර් 3 සිට 6 වැනිදා දක්වා

සහභාගි වන කණ්ඩායම් – ගුවන් හමුදාව, නාවික හමුදාව, යුද හමුදාව, මාස් කැෂුවලයින්, හයිඩ්‍රාමනි, මැලිබන්, ඔමේගා ලයින්.

අවසන් මහ තරගය දෙසැම්බර් 24 වැනිදා පස්වරු 1 ට මහරගම තරුණ සේවා ගෘහස්ථ පිටියේදී.

advertistmentadvertistment
advertistmentadvertistment