ශ්‍රී ලාංකේය දේශපාලනයේ ඩී. බී. විජේතුංග යුගය

277

ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ ජන නායකයකු ලෙස සිටි තෙවන විධායක ජනාධිපති ධුරය දැරූ ඩී. බී. විජේතුංග මැතිඳුන්ගේ 107 වන ජන්ම සංවත්සරය 2023-02-15 වැනි දිනට යෙදී තිබිණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

කලාත්මක හා ආගමික අතින් වැදගත් ගැමි සුවඳ වහනය වන උඩුනුවර පොල්ගහ අංග නම් සුන්දර ගම්මානයේ 1916-02-15 වැනි දින ජන්ම දායාදය ලැබූ විජේතුංග මහතා ගම්පොළ ශාන්ත ඇන්ඩෲස් විදුහලින් අධ්‍යාපනය නිමකර පසුව රාජ්‍ය සේවයට පිවිසුණි.

මුලින්ම පොලිස් නිලධාරිවරයකු ලෙසත් පසුව සමුපකාර පරීක්ෂකවරයකු ලෙසත් සේවය කළ එතුමා ඒ තුළින් ලැබූ විනයගරුක භාවය හා ප්‍රජා සමුපකාරික දැනුම තම පාලන තන්ත්‍රය සඳහා උපයෝගි කර ගනී.

රැකියාවේ නිරත වී සිටිය දී උඩරට කීර්තිමත් ඇමැතිවරයකු වූ ඒ. රත්නායක මහතාගේ පෞද්ගලික ලේකම් ධුරයට පත්වූ අතර ඒ තුළින් විජේතුංග මහතා දේශපාලනය පිළිබඳ පන්නරය ලබා ගත්තේය.

1965 හා 1977 යන මැතිවරණවල දී උඩුනුවර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත්වූ විජේතුංග මහතා ප්‍රථම වරට ඇමැති පදවියකට පත්වූයේ 1977 මැතිවරණයෙන් පසුව ය. ඒ අනුව එතුමා ගුවන්විදුලි හා ප්‍රවෘත්ති, විදුලිබල හා බලශක්ති, තැපැල් හා විදුලි සංදේශ, කෘෂිකර්ම හා පර්යේෂණ ආහාර ආදී අමාත්‍යාංශ රැසක අමාත්‍ය ධුර උසුලමින් රටට මහඟු සේවයක් කළේය.

රූපවාහිනිය ආරම්භ කිරීම, තැපැල් හා විදුලි සංදේශ සේවාවන් නවීන තාක්ෂණයට අනුව නවීකරණය කිරීම ඉන් ප්‍රධාන තැනක් ගනී.

විජේතුංග මහතා 1988 මැයි මස වයඹ පළාතේ ආණ්ඩුකාර ධුරයට පත්වීම නිසා උඩුනුවර මන්ත්‍රී ධුරයෙන් හා ඇමැති ධුරවලින් අස්වීමට සිදුවිය.

එහෙත් 1989 ජනවාරි මස එවකට ජනති ලෙස පත්ව සිටි රණසිංහ ප්‍රේමදාස මහතාගේ තීරණයකට අනුව එතුමා වයඹ පළාතේ ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් වී නැවතත් පාර්ලිමේන්තු දේශපාලනයට ප්‍රවිෂ්ඨ විණි. ඒ අනුව විජේතුංග මහතා 1989 පෙබරවාරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී එ. ජා. පක්ෂයෙන් මහනුවර දිස්ත්‍රික්කයට තරග කර වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා මන්ත්‍රී ධුරයට පත් විය. ඉන්පසුව එතුමා මුදල් අමාත්‍ය ධුරයට ද ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරයට ද පසුව රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධුරයට ද පත් වූයේය.

1993 මැයි 1 වැනිදා ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා ඝාතනය වීමත් සමග ශ්‍රී ලංකාවේ වැඩබලන ජනපති ලෙස පත්වූ විජේතුංග මහතා සති දෙකකට පසු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඒකමතික තීරණය අනුව ස්ථිරවම ජනාධිපති ලෙස පත්විය.

විජේතුංග යුගය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වුණු සාමකාමී කාලයක් විය. ලෙයින් කඳුළින් තෙත් වූ අනාථ වුණු යුගයක් නොවීය. එම යුගය තුළ නාඳුනන තුවක්කුකරුවන් ඇවිත් දොරට තට්ටු කළේ නැත. එම නිසා එම කාලය තුළ මිනිස් ජීවිතවල හානියක් සිදු නොවීය. දූෂණයෙන් හා භීෂණයෙන් තොර මැතිවරණ පවත්වනු ලැබුයේ විජේතුංග යුගයේදී ය. එම යුගය තුළ රාජ්‍ය බලය හා මැර බලය ක්‍රියාත්මක නොවුණි. එමෙන්ම ඡන්ද මංකොල්ල කෑම්වලට විජේතුංග මහතා එකඟ නොවීය.

ඒ නිසා ම 1993 වර්ෂයේ පළාත් සභා මැතිවරණ, 1994 දකුණු පළාත් සභා මැතිවරණය, 1994 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණය, දූෂණයන් තොරව සාමකාමීව හා සාධාරණව පැවැත්වීමට ඒ මහතා කටයුතු කළේය.

විජේතුංග යුගය තුළ රටේ ආර්ථිකය අන් කවරදාටත් වඩා ශක්තිමත් විය. කොටස් වෙළෙඳ පොළ හා ඉඩම්වල මිල නොකඩවාම ඉහළ යමින් තිබිණි. ඒ සමගම යුද ජයග්‍රහණ ද ලබාගෙන තිබීම ද විශේෂයකි. නැඟෙනහිර පළාත සම්පූර්ණයෙන්ම (තොප්පිගල සමග) අයත් කරගෙන තිබිණි.

විජේතුංග මහතා ජනමාධ්‍යකරුවන් සමග සමීපව ඇසුරු කළ නැති නමුත් ඔවුනට නිදහසේ අදහස් පළ කිරීමට ඉඩ දුනි. ඔහු මාධ්‍යවේදීන්ගේ නිදහසට බාධා කළේ නැත. රාජ්‍ය මාධ්‍ය පවා බෙහෝ දුරට අපක්ෂපාත වූයේ විජේතුංග මහතාගේ පාලන කාලය තුළය.

කාල කළමනාකරණය ගැන සලකා බලනවිට එතුමාගේ පිළිවෙත අගය කළ යුතුය. රාජකාරි කළ කාලය තුළ අලුයම පිබිදෙන එතුමා උදේ ආහාරය පවා ගන්නේ හෝරා කීපයක්ම ජනතා සේවයට කැප කිරීමෙන් පසුවය. තමා සහභාගි වන නිල උත්සවයකට හෝ රැස්වීමකට හෝ ආරාධනාවකට හෝ වේලාව නොවරදවා සහභාගිවීම එතුමාග් උතුම් පිළිවෙතක් විය.

විජේතුංග මහතා වෙනත් දේශපාලනඥයින් මෙන් තනතුරු හඹා ගියේ නැත. එතුමා පසුපස තනතුරු හඹා ආවේය. ඊට හේතුව තමාට භාරදෙන ඕනෑම කාර්යක් මනා කැපවීමකින් යුක්තව නිසි පිළිවෙළට, වේලාවට හා නිවැරදිව ඉෂ්ට කිරීම ය.

ජනාධිපති ධුරය දරන කාලය තුළ අවස්ථානුකූලව දේශපාලන වශයෙන් නිවැරදි තීරණ ගැනීමේ හැකියාව එතුමාට තිබුණි. එ. ජා. පක්ෂය තුළ විජේපාල මැන්දිස්, පෙන්ටස් පෙරේරා වැනි ජ්‍යෙෂ්ඨයින් සිටිය දී රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම, 1994 ජනපතිවරණයේ දී ගාමිණී දිසානායක මහතාට එ. ජා. ප. ජනාධිපති අපේක්ෂක ධුරය ලබාදීම, 1994 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු චන්ද්‍රිකා බණ්ඩාරනාය කුමාරතුංග මැතිනියට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීම යන තීරණ තුළින් එතුමාගේ ස්ථානෝචිත ප්‍රඥාව තහවුරු වේ.

විජේතුංග මහතා විපක්ෂයේ සිට ආරක්ෂක අමාත්‍ය ධුරයත්, එ. ජා. ප. නායකත්වයත් දරමින් සාර්ථක ලෙස ආණ්ඩු පක්ෂය මෙහෙයවනු ලැබීය. 1994 නොවැම්බර් මස පැවැති ජනපතිවරණයෙන් පසු දෙපාර්ශ්වයේම උණුසුම් සුබ පැපතුම් මැද එතුමාණෝ ගෞරවනීය ලෙස ඉසුඹු බව ලැබූහ.

නන්දලාල් වාකිෂ්ට
(විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යෂක)

advertistmentadvertistment
advertistmentadvertistment