ඩෙන්මාර්ක් සුරූපිනියගේ සිරුර කඳු පාමුලින් හමුවෙයි

869

රූටන ගලෙන් වැටුණාද?

පාද දෙකේම සීරීම් තුවාල

කඩුගන්නාව ප්‍රදේශයේ පිහිටි කන්දක් නැගීමට යන බව පවසා ගොස් දින 5 ක් තිස්සේ අතුරුදන්ව සිටි ඩෙන්මාර්ක් ජාතික 32 හැවිරිදි රූමත් කාන්තාවගේ මළ සිරුර ඊයේ (14 දා) උදේ හමුවූ බව මහනුවර සංචාරක පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මුන්ක් ඇබ්සෙන් (Munk Ebbsen) නමැති ඩෙන්මාර්ක් ජාතික කාන්තාවකි.

ඇය පසුගිය 09 වැනිදා මහනුවර අම්පිටිය පාරේ පිහිටි හෝටලයකට පැමිණ තිබේ. 10 වැනිදා ඇය කඩුගන්නාව කන්දක් නැගීමට යන බව හෝටල් හිමිකරුට පවසා ගොස් ඇත.

එලෙස හෝටලයෙන් පිටව ගිය ඩෙන්මාර්ක් ජාතික කාන්තාව නොපැමිණීම නිසා ඒ ගැන හෝටල් හිමිකරු මහනුවර සංචාරක හෝටලයට පැමිණිලි කර ඇත.

හෝටල් හිමිකරුගේ පැමිණිල්ලට අනුව මහනුවර සංචාරක පොලිසිය ඇය කඩුගන්නාව, අලගල්ල කන්ද තරණය කරන්නට ඇතැයි අනුමාන කර තිබේ.

පසුව පොලිසිය කඳු තරණය සඳහා මග පෙන්වන තරුණ කණ්ඩායමක් හා ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ සෝදිසියකදී මෙම ඩෙන්මාර්ක් ජාතික කාන්තාවගේ මළ සිරුර සොයාගන්නා ලදී.

මෙම ඩෙන්මාර්ක් ජාතික කාන්තාව පොත්තපිටිය ප්‍රදේශයෙන් අලගල්ල කන්ද තරණය කරන්නට ඇති බවත්, ඇය කන්ද මුදුනේ සිංහ ගල (රූටන ගල) තරණය කිරීමට යෑමේදී ඇද වැටෙන්නට ඇති බවත් පොලිසිය සැක කරයි.

ඇය කන්ද තරණය කිරීමේදී රූටන ගල දෙසට ගොස් එතනින් ඇද වැටෙන්නට ඇතැයි අනුමාන කරන්නේ මළ සිරුර පොත්තපිටිය අලගල්ල කඳු පාමුල ප්‍රදේශයේ තිබී හමුවූ බැවිනි.

මෙම විදේශීය ජාතික කාන්තාව අතුරුදන්වූ බවට ලද පැමිණිල්ලට අනුව පොලිසිය නිල සුනඛයන් යොදවා යුද හමුදාවේද සහාය ඇතිව අදාළ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක්ද අරඹා තිබිණි.

කෙසේ වෙතත් මෙම කාන්තාවගේ මරණයට හේතුව පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී හෙළිකරගත හැකිවනු ඇතැයිද පොලිසිය පවසයි.

මෙම ඩෙන්මාර්ක් ජාතික කාන්තාවගේ පාද දෙකේම සිරීම් තුවාල දක්නට ඇතැයිද පොලිසිය කියයි.

මෙම මළ සිරුර හමුවීමෙන් පසු ඒ ගැන ආරංචි වී විශාල පිරිසක් අදාළ ප්‍රදේශයට පැමිණි බවද පොලිසිය කියයි.

මියගිය කාන්තාවගේ මූලික මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයද සිදුකිරීමට නියමිතව තිබිණි.

මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, මහනුවර/මාතලේ දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ මහනුවර පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රසික සම්පත් මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් හා මහනුවර සංචාරක පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් එක්ව මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, සමන්තී වීරසේකර සහ ගුන්නෑපාන – ජානක සම්පත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment