දයාසිරිගේ ඉල්ලීම උසාවියෙන් ඉවතට

351

ශ්‍රීලනිප මහලේකම් ධුරයෙන් ඉවත් කිරීම:
සරත් ඒකනායකගේ වැඩ බැලීමත් අත්හිටුවයි

සිය පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ ලිපිය ක්‍රියාත්මක කිරීම පෙත්සම් විභාගය අවසන් වනතුරු අත්හිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් ඊයේ (08දා) ප්‍රතික්ෂේප කරන ලදී.

කෙසේ නමුත් තමා පක්‍ෂයේ ලේකම් ධුරයෙන් ඉවත් කර එම ධුරයේ වැඩ බැලීමට නියෝජ්‍ය ලේකම් සරත් ඒකනායක මහතාව පත් කිරීම අත්හිටුවන ලෙසට දයාසිරි ජයසේකර මහතා කළ ඉල්ලීමට අවසර ලබාදුන් ප්‍රධාන දිසා විනිසුරුවරයා පෙත්සම් විභාගය අවසන් වන තුරු සරත් ඒකනායක මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලේකම් ධුරයේ වැඩ බැලීම අත්හිටුවමින් නියෝගයක් නිකුත් කළේය.

පෙත්සම්කාර දයාසිරි ජයසේකර මහතා වෙනුවට එම පක්‍ෂයේ ලේකම් ධුරයේ වැඩ බැලීමට කෙනකු පත් කිරීමේ බලයක් පක්‍ෂ නායකවරයාට නොමැති බවත්, එලෙස පත්කිරීමක් කළ යුත්තේ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව බවටත් නිගමනය කළ විනිසුරුවරයා එම නියෝගය කළේය.

යම් පක්‍ෂයක සාමාජිකත්වය දරන අයකුගේ පක්‍ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමේ බලය පක්‍ෂයේ ව්‍යවස්ථාව අනුව එම පක්‍ෂයේ නායකයාට හිමිව ඇති බව බැලූ බැල්මට පෙනී යන්නේ යැයි නිගමනය කළ විනිසුරුවරයා එම මුල් නියෝගය නිකුත් කළේය.

කෙසේ නමුත් පෙත්සම්කරු ඉල්ලා ඇති සහන ලබාදීම සඳහා පෙත්සම් විභාගයක් පැවැත්විය යුතු බවට ද නිගමනය කළ විනිසුරුවරයා එම පෙත්සම් විභාගය ලබන 22 වැනි දින කැඳවීමට තීරණය කර එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු වගඋත්තරකරුවන්ට අතුරු තහනම් දැන්වීම් හා නොතීසි නිකුත් කිරීමට ද නියෝග කළේය.

දයාසිරි ජයසේකර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඉබ්‍රම් මොහොමඩ් මහතා පෙනී සිටියේය.

පෙත්සම්කාර දයාසිරි ජයසේකර මහතා ද අධිකරණය හමුවේ ඊයේ පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment