නාගොඩ රෝහලේ සිසේරියන්

104

මාකේන් නැති වෙන්න හේතු මොනවාද? -සජිත්

ඔය ඖෂධය නැති වුණොත් අම්මත් මැරෙනවා දරුවත් මැරෙනවා – කාවින්ද ජයවර්ධන

සෞඛ්‍ය ඇමැතිගේ සංවේදීභාවයක් නෑ – අනුර කුමාර

ඒ බෙහෙත දිවයින පුරාම නෑ -රාජිත සේනාරත්න

වාසිය පෞද්ගලික රෝහල්වලට – විමල් වීරවංශ

විපක්‍ෂය කාලකණ්ණි සතුටක් ලබනවා – ප්‍රසන්න රණතුංග

මේ හදන්නේ සෞඛ්‍ය පෞද්ගලීකරණය කරන්න – චමින්ද විජේසිරි

කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ සිසේරියන් සැත්කම් කිරීමට අවශ්‍ය මාර්කේන් නමැති නිර්වින්දන ඖෂධය නොමැතිවීම සම්බන්ධයෙන් ‘දිවයින’ විසින් ඊයේ (20දා) මුල් පිටුවේ පළ කර තිබූ ප්‍රවෘත්තිය පිළිබඳ පාර්ලිමේන්තුවේදී ඊයේ (20දා) විපක්ෂයේ දැඩි අවධානය යොමු විය. එහිදී සිදුවූ සංවාදය මෙසේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා –

කළුතර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂතුමිය එම රෝහලේ බොහොම බරපතළ තත්ත්වයක් පිළිබඳව අවධානය යොමු කරනවා. සිසේරියන් සැත්කම්වලට අවශ්‍ය හෙවිමාර්කේන් නමැති ඖෂධය එම රෝහලේ නොමැතිකම. සිසේරියන් සැත්කමක ඇති වැදගත්කම අපි දන්නවා. මේ ඖෂධ්‍ය හිඟවන්නට හේතු මොනවාද කියලා අපි රජයෙන් අහනවා. මේ තත්ත්වය තුළ දරුවන් සහ අම්මලා මරණයට පත් වෙන්න පුළුවන්. මේකට දෙන විසඳුම මොකක්ද?

රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා –

එක් ඖෂදයක් ගැන කිව්වා. ඒ ගැන මට එකවර පිළිතුරක් දෙන්න අපහසුයි. ඒත් රජය දැඩි ප්‍රමුඛතාවයකින් බෙහෙත් සඳහා මුදල් ලබා දෙනවා.

ප්‍රේමදාස මහතා – සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මහා පරිමාණයෙන් වංචා, දූෂණ සිදු වෙනවා. ඒ ගැන විශේෂඥ fවෛද්‍යවරුන් මීට පෙර අදහස් දැක්වූවා. විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, ආචාර්ය පාලිත අබේකෝන්, මහාචාර්ය අසිත ද සිල්වා වැනි අය යහපාලන කාලයේ ඉතා කාර්යක්ෂමව වැඩ කළා කියලා දැන් ඔවුන්ව කනෙන් අල්ලලා එළියට දාලා තිබෙනවා.

වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා –

මේ කාරණයේ ඇති සංවේදීතාවය අපි පිළිගන්න ඕනා. දැන් බියුපිවැකේන් කියන නිර්වින්දන ඖෂධය දීලා මව්වරු දෙදෙනෙක් නැති වුණා. දැන් නිර්වින්දන ඖෂධ භාවිතා කිරීම පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. සිසේරියන් සැත්කමක දී මේ කියන ඖෂධ නැති වුණොත් අම්මත් මැරෙනවා. දරුවත් මැරෙනවා. වෛද්‍යවරුත් අසරණ වෙනවා. දැන් කිව්වා මුදල් දෙනවා කියලා. ඒ දෙන මුදල්වලින් ගේන්නේ බාල ඖෂධ. සීනි තිබෙන, ප්‍රෙෂර් එක තිබෙන මවකට සීසර් සැත්කමක් කරන්නම වෙනවා. දරුවා බරින් වැඩි නම් සීසර් කරන්නම වෙනවා. ඇයි මේ ගැන ආණ්ඩුව සංවේදී නොවන්නේ.

සභා නායක සුසිල් ප්‍රේමජයන්ත මහතා –

අපිත් මේ ගැන සංවේදීයි. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. මේ සභාවේ සෞඛ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනෙක්ම ඉන්නවා. මේ කළුතර රෝහලේ ප්‍රශ්නය ගැන අපි හෙට දිනයේ පිළිතුරක් ලබා දෙන්නම්.

අනුර කුමාර දිසානායක මහතා –

සෞඛ්‍ය ඇමැතිවරයා පිළිතුරක් දෙනවා අපි දැක්කා. ඔහු කියන්නේ මේක සාමාන්‍ය තත්ත්වයක් කියලයි. සෞඛ්‍ය ඇමැතිවරයා මේ සභාවට සංවේදී භාවයක් පෙන්නුවේ නෑ. මේක අසාමාන්‍ය තත්තවයක්. දැන් අපේ සෞඛ්‍ය පද්ධතියම කඩා වැටිලා තිබෙන්නේ. එවැනි තත්ත්වයක් තුළ සෞඛ්‍ය ඇමැතිවරයා කියන දේවල් දෙස බැලුවහම ඔහුට සංවේදීතාවයක් නෑ කියලා පෙනෙනවා. අර නුවරඑළියේ ඇස් අන්ධ වුණු රෝගීන්ට වන්දි දෙනාවාලු. ඒක ප්‍රමාණවත්ද?

රාජිත සේනාරත්න මහතා –

දැන් සිසේරියන් කරන්න බැරි කළුතර පමණක් නොවෙයි. ඒ බෙහෙත නැති වෙන්නේ දිවයින පුරාමයි. අද දරු ප්‍රසූති විශාල වශයෙන් කරන්නේ සිසේරියන් සැත්කම්වලින්. මේක මැලේරියාව, සරම්ප, බරවා ආදී රෝග තුරන් කළ රටක්. නමුත් දැන් ඒවා යළිත් ඇවිත්. අද සෞඛ්‍ය කඩා වැටිලා. මේක ඉස්සරහට විශාල විනාශයක් වේවි. සෞඛ්‍ය කියන්නේ ආර්ථිකයම නොවෙයිනේ. මිනිස්සු කන්න හරි ජීවත් වෙලා ඉන්න ඕනා. සෞඛ්‍යට ක්ෂණික විසඳුම් නෑ. දැන්ම නිසි ක්‍රියාමාර්ගවලට යන්න.

විමල් වීරවංශ මහතා –

ඇතැම් රෝහල්වල විදුලි බිල ගෙවන්න බැරිව විදුලිය විසන්ධි කරලා තිබෙනවා. රජයේ රෝහල් මෙහෙම බිඳ වැටුණොත් එහි වාසිය යන්නේ පෞද්ගලික රෝහල්වලට. එහෙම වෙන්න ඉඩ දීලා බලා ගෙන ඉන්නවා වෙන්නත් පුළුවන්. පොදු සෞඛ්‍ය පද්ධතිය බිඳවැටෙන්න දෙන්න එපා.

චමින්ද විජේසිරි මහතා – රාජ්‍ය ඇමැති මුදල් දෙනවා කිව්වා. නමුත් සෞඛ්‍ය ඇමැති කියනවා මුදල් නෑ කියලා. මේ හදන්නේ සෞඛ්‍යයත් පෞද්ගලීකරණය කරන්නයි. ඒ දේ කරන්න එපා. සෞඛ්‍ය ඇමැති මිනී පෙට්ටි ශාලාව පෙන්වනවා නම් ඇති වැඩේ මොකක්ද?

දයාසිරි ජයසේකර මහතා –

නිර්වින්දනය පිළිබඳ දැන් විශාල ප්‍රශ්න තිබෙනවා. අපේ හෙට්ටිපොලත් එක් ළමයෙක් මැරුණා. අපි මේවා ගැන කතා කළත් අහන්නේ නෑ. ආණ්ඩුව බුදියගෙන ද ඉන්නේ.

නිමල් පියතිස්ස මහතා –

නුවරඑළියේ රෝහලේ දීපු ඖෂධයකින් ඇස් අන්ධ වුණා. දැන් බෙහෙත් නෑ. වෛද්‍යවරුනුත් රට හැර යනවා. මින්ස්සු අපෙන් අහනවා තමුන්නාන්සේලා මොනවද කරන්නේ කියලා.

මධුර විතානගේ මහතා –

එන්. එම්. ආර්. එකේ දත්ත පද්ධතිය හදිසියේ මැකුණු එක ගැන මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් දැම්මා. ඒත් තාම පිළිතුරක් නෑ.

සජිත් ප්‍රේමදාස මහතා –

මම ආණ්ඩුවෙන් ඉල්ලනවා තාක්ෂණික පිළිතුරු දෙන්නේ නැතිව මේ ගැන සංවේදී වෙන්න. හැටනව ලක්ෂයක ඡන්ද ගත්තු අය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යනවා. අපි අද සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහිව විශ්වාෂභංගයක් ගේන්න අත්සන් ගැනීම ආරම්භ කළා. මම ආරාධනා කරනවා ආණ්ඩුවේ ඒ මන්ත්‍රීතුමාට, ඔබට කොන්දක් තිබෙනවා නම් ඒකට අත්සන් කරන්න.

මධුර විතානගේ මහතා –

මට කොන්ද තිබෙන නිසා තමයි ඒ පැමිණිල්ල දැම්මේ. නමුත් විපක්ෂයෙන් කිසිම උදව්වක් ලැබුණේ නෑ.

සජිත් ප්‍රේමදාස මහතා – විපක්ෂය ඉන්නේ පැමිණිලි විභාග කරන්නද? මොන මෝඩ කතාවක්ද ඒක.

ප්‍රසන්න රණතුංග මහතා –

විපක්ෂය කාලකණ්නි සතුටක් ගන්නවා ළමුන්, අම්මලා මැරෙනවා කියලා. සෞඛ්‍ය ඇමැතිවරයා සභාවට ආපසුව ඒ ගැන ප්‍රකාශයක් කරන්න කටයුතු කරයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment