නිවසේ තිබූ සුඛෝපභෝගී රථය උස්සා පන්සලක දමා ගිහින්

74

සැකකරුවන් සොයා පොලිස් පරීක්‍ෂණ

ඇක්වා වර්ගයට, අයත් සුඛෝපභෝගී මෝටර් රථයක් නිවසේ ආරක්ෂිත ගේට්ටුවකින් ඇතුළු වී පැහැරගෙන ගිය සැකකරුවන් සොයා කැලණිය පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.

කැලණිය, සිංහාරමුල්ලේ ජයන්ති මාවතේ පිහිටි රෝලර් ගේට්ටු ආවරණයක්ද සහිත නිවසක නවතා තිබූ කළු පැහැති ඇක්වා වර්ගයේ මෝටර් රථයක් පසුගිය 28 වැනිදා අලුයම් කාලයේ පැහැරගෙන ගොස් ඇතැයි එහි හිමිකරු විසින් කැලණිය පොලිසියට පැමිණිලි කර ඇති අතර එම වාහනය එගොඩ කැලණියේ කිත්සිරි මෙවන් විහාර භූමියේ අතහැර දමා ගොස් තිබියදී කැලණිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

හිමිකරුවන් නිවසේ සිටියදීම ආරක්ෂිත රෝල ගේට්ටුවක් සහිත භූමියට ඉතා සූක්ෂම අන්දමින් ඇතුළු වූ කිසියම් පුද්ගලයකු එම වාහනය 27 වැනිදා මධ්‍යම රාත්‍රියේදී පැහැරගෙන ගොස් ඇත.

රථයේ හිමිකරු විසින් කැලණිය පොලිසියට කරන ලද පැමිණිල්ලට අනුව පැහැරගත් වාහනය සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබියදී පොලිස් නිලධාරීන් කැලණිය ප්‍රදේශය අවට කළ සෝදිසි මෙහෙයුමකදී රථය කිත්සිරිමෙවන් විහාර භූමියේ තිබී හමුවී ඇත.

කැලණියෙන් රථය පැහැරගත් සැකකරු අනතුරුව එම රථයෙන් කඳානට ගොස් කඳානේ පිරවුම් හලකින් මුදල් නොගෙවා ඉන්ධන පුරවාගෙන නැවත කැලණියට පැමිණ වාහනය විහාර භූමියේ දමා පලාගොස් තිබියදී ඉකුත් 28 වැනිදා රාත්‍රී පොලිසිය විසින් සොයාගෙන ඇත.

මහර අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ආරම්භ කරන ඛව කැලණිය පොලිසියේ අපරාධ අංශයේ නිලධාරියෙකු පැවසීය.

කැලණිය පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. දේවප්‍රිය මහතාගේ මෙහෙයවීම මත අපරාධ අංශයේ ස්ථානාධිපති පො.ප. සුමිත් කරුණාරත්න, උ.පො.ප. ගිහාන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එක්ව විමර්ශන සිදුකර පැහැරගත් රථය එක් දිනක් තුළදී සොයාගෙන ඇත.

කැලණිය – මංගලා මදුරප්පෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment