ප්‍රජාතන්ත්‍රවාදයේ පුටුව කඩා ආර්ථිකයේ අටුව හදන රටක්!

93

ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය විදුලි බිල අසාධාරණ ලෙස ඉහළ දැමීම මෙන්ම පොදුජන ජීවිත මුහුණ දී සිටින ප්‍රශ්න කිසිවකට සංවේදී නොවීම ආදී කරුණු ගණනාවකට විරෝධය දැක්වීම් දීප ව්‍යාප්ත වැඩවර්ජන රැල්ලකින්ද උණුසුම් වූ සතියක නිමාව පැමිණ තිබේ. ඉකුත් 15 වැනිදා සිදුවූ වැඩවර්ජනය පිළිබඳ ආණ්ඩුවේ පාර්ශ්ව මෙන්ම වෘත්තිය සමිති සංවිධාන නායකයන් විසින් කරනු ලබන ප්‍රකාශ කෙබඳු වුවත් එයින් පොදු ජන ජීවිතවලට මෙන්ම රටේ ආර්ථික ක්‍රියාදාමයට ද බාධා සිදු වූ බව නිසැකය. එනිසා එම වර්ජනයේ ලාභ අලාභ ගණනය කිරීමේ විවාදය අපට වැදගත් නැත. අප යෝජනා කරන්නේ මේ වර්ජනවලට තුඩුදුන් හේතු සාධාරණව හා සංවේදීව විමසා නොබලන මුරණ්ඩුකාරී හා මර්දනකාරි ප්‍රතිචාරවලින් ඒ කිසිවක් විසඳා ගත නොහැකි බවය. ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජනරාල් සමන් රත්නප්‍රිය ඉඳුරා පැවසුවේ 15 වනදා වර්ජනය අසාර්ථක බවය. එහෙත් එය සත්‍යයක්ද? ඒ වර්ජනයෙන් ඔහුද නියෝජනය කරන සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයට හෝ බලපෑමක් සිදු වූයේ නැද්ද? ඔහු මෙන්ම තවත් වෛද්‍යවරුන්ගේ සංසදයකින් ප්‍රකාශ වූයේ වෛද්‍යවරුන් සියයට අසූවක් වර්ජනයට එක් නොවූ බවය. පිළිගත හැකිද?

ඉහත සඳහන් කළ පරිදි මේ ගණන් හිලව් ගැන අපට රණ්ඩුවක් නැත. එහෙත් අප දුටුවේ බොහෝ රෝහල්වල අපහසුවට පත්වූ පොදු ජනතාවගේ සෝබර මුහුණුය. අපට ඇසුණේ ඒ ශෝකී අඳෝනාවන්ය. හැම රූපවාහිනී නාලිකාවකම ඒ දසුන් දැකගත හැකි වූ අතර පුවත්පත්වලද ඒ හා සම්බන්ධ ඡායාරූප පලවී තිබුණි. ජනාධිපතිගේ කටහඬ බවට පත්ව සිටින වජිර අබේවර්ධන වර්ජන ක්‍රියාවලිය දැඩි දෝෂ දර්ශනයට ලක් කරද්දී කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන සඳහන් කළේ අත්‍යවශ්‍ය නියෝග කඩකරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන බවය. රට නැවත යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන අවස්ථාවක පාරට බහින වෘත්තිය සමිති සාමාජිකයන්ගේ මොළය පරීක්‍ෂා කළ යුතු බව ද වජිර මාධ්‍ය හමුවකදී (14දා) පවසා තිබුණි. රටේ සංවර්ධන ක්‍රියාදාමයට අවහිර කිරීම උද්ඝෝෂණවල අරමුණ බව ආණ්ඩු පාර්ශ්වයේ මතයද වී තිබේ.

අද මේ රට වැටී තිබෙන ආර්ථික අගාධය ගැන විවාදයක් නැත. ආණ්ඩුව අපේක්‍ෂා කරන අයි. එම්. එෆ්. සහනයෙන් ඒ අගාධයෙන් ගොඩ ඒමට යම් ශක්තියක් ලැබෙන බව ද නිසැකය. ජනාධිපති රනිල් පැවසූ පරිදිම බංකොලොත් රටකට එබඳු අනුග්‍රහයක් ලබා ගැනීමද අභියෝගයකි.

ඇත්ත වශයෙන්ම ඒ ප්‍රදානය ණයක් ලෙස හෝ ලැබුණේද කතුන් තිදෙනෙක් නිසාය. ඉන්දීය මුදල් ඇමැති නිර්මලා සීතා රාමන්, ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරියක වන ජෙනට් යෙලන් හා මූල්‍ය අරමුදලේ ක්‍රිස්ටිනා ජෝර්ජියේවා ඒ වෙනුවෙන් උදව් උපකාර ලබාදුන් බව ද ජනාධිපති රනිල් ජගත් කාන්තා දින උත්සවයකදී පවසා තිබුණේ ඔවුන්ට කෘතවේදීත්වයද පළ කරමින්ය. ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපකාරයෙන් හෝ රටේ ආර්ථිකය ගොඩ නැංවීමට ගන්නා උත්සාහයට වර්ජකයන් හෝ ස. ජ. බ. ඇතුළු විපක්‍ෂවලින් හෝ විරෝධයක් ඇති බවක් ද නොපෙනේ. ඇත්තටම විපක්‍ෂවලට හෝ මේ ආර්ථික අර්බුදයට ප්‍රබල වැඩ පිළිවෙළක් ඇති බවක් නොපෙනේ. වෘත්තිය සමිති සංවිධාන ජාත්‍යන්තර අරමුදලේ කොන්දේසි ගැන නම් එකඟ නොවන බව ප්‍රකාශ වී ඇත. එහෙත් මෙම වර්ජනවල ඒ ගැන කිසිදු ඇඟවීමක් නැත.

අපට පෙනෙන ආකාරයට නම් ජනතාව වීදි බැසීමේ ප්‍රධාන හේතුව ආණ්ඩුවේ ආර්ථික සැලසුම්වල වැඩිබර ජනතාවට වක්‍ර බදු වසයෙන් ගෙවීමට සිදුවී තිබීම නිසාය. විදුලිය, ඉන්ධන මෙන්ම අහස උසට නැග තිබෙන ඖෂධ මිල ජනතාවට දරාගත නොහැකි වී තිබීම නිසාය. වෘත්තිකයන්ගේ විරෝධය බදු පිළිවෙතටය. එනිසා ආණ්ඩුවේ හිතවත් පිරිස් මෙම විරෝධතා, වර්ජන පිළිබඳ ව්‍යාජ සිල්ලර තර්ක ගොඩනැගිය යුතු නොවෙති. අද වනවිටත් මේ ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමැතිට චෝදනා එල්ල කරන ගොවියන්ගේ ප්‍රශ්න කොපමණ තිබේද? ඔව්හු සහනාධාර හෝ වෙනත් හිමිකම් ඉල්ලා නොසිටිති. ඔවුන්ට වුවමනා නිදහසේ තම වී වගාව ඇතුළු ගොවිතැන් බත් කර ගැනීමය. සෞඛ්‍ය ඇමතිගේ තත්ත්වය කුමක්ද? වෙළෙඳ ඇමැතිවරයා ගැන සතුටු විය හැකිද සමස්තයක් ලෙස ජනාධිපති රනිල් හැර මේ කැබිනට්ටුවේ බොහෝ දෙනෙක් ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට අසමත් වූවෝ නොවෙත්ද?

ප්‍රජාතන්ත්‍රවාදයේ පුටුව කඩා ආර්ථිකයේ අටුව හදන රටක්!

අයි. එම්. එෆ් ණය ලැබීමෙන් පසු ඇමැති මණ්ඩලය සංශෝධනය වන පුවතක්ද ඇසෙයි. එහෙත් ජනාධිපති රනිල්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රබුද්ධ මනසකින් ක්‍රියා කළ හැකි අය මේ පොහොට්ටුවේ සිටිත්ද? ඇත්තටම කළ යුත්තේ මේ ඇමැති සංඛ්‍යාව අඩුකර ඒ බරත් හෑල්ලුකර ගැනීමකි. දේශපාලනයටම මහලු වී සිටින චරිත විනා අලුත් ගමනක් යා හැකි චරිත මේ පාර්ලිමේන්තුව තුළ වුවද ඉතා ස්වල්පයකට වඩා නැත. සමහරුන්ට වුවමනා ඇමැති සැප විඳ මේ දේශපාලන සැඳා වෙරළෙන් නික්ම යාමටය. එහෙත් ජනතාවට වුවමනා අවම වසයෙන් තම ජීවිත අර්බුදයකින් තොරව පවත්වා ගෙන යාමය. තම දරුවන්ට අධ්‍යාපනයක් අනාගතයක් ලැබෙන සාධාරණ සමාජයක් ඔව්හු අපේක්‍ෂා කරති. ඒ අලුත් ජීවිත අපේක්‍ෂාවන් ජන හඳ තුළ ග`ිගුම් දෙයි. රට වැනසූ ජාතික සම්පත් කොල්ල කෑ වසළ දේශපාලනය වෙනස් විය යුතු බව ඔව්හු වටහා ගෙන සිටිති. දේශපාලනයට සදාචාරාත්මක වටිනාකමක් හිමි විය යුතු යැයි කල්පනා කරන ජනකොටස්ද අද ඔවුන් අතර සිටිති.

දේශපාලන විචාරකයන්, න්‍යායාචාර්යවරුන් ආදී විදග්ධ පුද්ගලයන් විසින් අවධාරණය කරනු ලබන ඒ දේශපාලන වටිනාකම් ගැන පොදු ජනතාවට පුළුල් අවබෝධයක් නොමැති වුවද මේ පවතින තමන් අබියස සිදුවන ව්‍යාජ හා මුග්ධ හැසිරීම් යහපත් නොවන බව අද ජනතාව වටහා ගෙන සිටිති. ඒ ඇරිස්ටෝටල් හෝ බර්ටෝල් බ්‍රෙෂ්ට් කියවා නොව වචී පරම දේශපාලනඥයන්ගේ වංචනික ස්වරූපය සිය අන්තර්ඥානයෙන් වටහා ගැනීම නිසාය. තමන්ට උරුම විය යුතු අභිමානවත්, ගෞරවාන්විත ජීවිතය අහිමි කළ රාක්ෂයන් ලෙස මේ බොහෝ දේශපාලන චරිත ඔව්හු දකිති. නීතිගරුක බව සාධාරණය යුක්තිය වල් වැදී ගිය සමාජයක් බිහි කරන ලද්දේ මේ රට භාරවූ දේශපාලන පක්‍ෂත්, ඒවායේ අනුගාමිකයනුත් බව ජනතාව නිවැරදිව තේරුම් ගෙන සිටිති.

මහජන සේවකයන් යැයි කියනු ලබන බොහෝ දෙනෙකුගේ එකම අරමුණ බලය බවත් මේ ජනතාව තේරුම් ගෙන සිටිති. තවදුරටත් සැඟවිය නොහැකි ලෙස තම පාලකයන් හා තමන් අතර වෙනසද ජනතාව දකිති. බලයට පත්ව තම සනුහරයම එගොඩ කරන වංක දේශපාලනයට තවදුරටත් පැවැත්මක් නැති බව අද සිදුවන විරෝධතා, වර්ජන ආදියෙන් වුවද අපට හැඟෙන දෙයයි. දේශපාලන විචාරකයන් සඳහන් කරන ප්‍රභූ දේශපාලනයෙහි බිඳ වැටීමේ ලකුණු දැන් පහළ වී තිබේ ද? ප්‍රභූ පන්තිය එයින් තැති ගන්නා බව නම් රහසක් නොවේ. පොදු ජනතාවගේ නැගිටීම වැළැක්වීමට අද එකී වරප්‍රසාද සහිත කොටස් මාරාන්තික සටනකට වුව සුදානම් බව ද පෙනේ.

මෙරටේ බලය අත්පත් කරගත් එජාපය බිඳ වැටීමත්, රාජපක්‍ෂ කඳවුර දෙදරා යෑමත් මේ දේශපාලන පෙරළියෙහි නියත ලකුණු විය. ජනතාව අද වෙනත් දේශපාලන තෝරා ගැනීමක් සඳහා උනන්දු වන බව ද ඒ ප්‍රභූ පන්තිය තේරුම් ගෙන ඇත. ස. ජ. බ. හා ජා. ජ. බ. ලෙස ජනතාවගේ ආකර්ෂණයට ලක්වූ දේශපාලන ව්‍යාපාර ගැන මේ වරප්‍රසාද සහිත පන්තිය වපරැසින් බැලීම පුදුමයක් නොවේ. ඒවා පාරිශුද්ධ හෝ සර්ව සම්පූර්ණ දේශපාලන ව්‍යාපාර දැයි අපට සහතික ලබාදිය නොහැක. එහෙත් බහුතර ජනතාවක් ඒවාට දක්වන සාධනීය ප්‍රතිචාර අපට පැහැදිලිව දැකගත හැකිය. වෙනසකටත් එක්ක අපි මාලිමාවට යයි සමහරුන් කියනුද ඇසෙයි. එයින් ගම්‍ය වන්නේ මහජනතාව තුළ තිබෙන අලුත් දේශපාලන අපේක්‍ෂාවය. හරි වැරැද්ද කුමක් වුවත් අද ජනතාවට මේ වනතුරු පැවති හා පවතින වැඩවසම් මෙන්ම කල් ඉකුත්වෙමින් තිබෙන ඒ ප්‍රභූ දේශපාලනය නම් එපාවී තිබෙන බව ඉතා පැහැදිලිය.

රාජපක්‍ෂ කඳවුරම දෙදරා යමින් තිබෙන නිමේෂයක එහි ප්‍රතිවාදියකු ලෙස පෙනී සිටි රනිල් ඒ කඳවුරේම ආරක්‍ෂකයා බවට පත්ව සිටින්නෙහිද? ඔහුට ජනාධිපති ධුරය හිමි වූයේ ඒ කඳවුර විසින් පලකරන ලද අනුග්‍රහය නිසා බව සත්‍යයකි. එහෙත් අද ජනතාවගේ අපේක්‍ෂාව යළි රාජපක්‍ෂ බලය ස්ථාපිත කිරීම නොවන බව ජනාධිපති රනිල්ට අමුතුවෙන් කිව යුතු නැත. ජනාධිපති රනිල් පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් තර්ජනයක ස්වරූපයයෙන් කියා සිටියේ අයි. එම්. එෆ්. සමග ක්‍රියාත්මක කෙරෙන ආණ්ඩුවේ වැඩපිළිවෙළ කඩා කප්පල් කරන අයට එරෙහිව දැඩි පියවර ගන්නා බවය. ආරක්‍ෂක අංශ හා පොලිසියට අප්‍රමාණ පැසසුම් පිරිනමමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට ඔහු සුදානම් වෙයි. එහෙත් එය සාර්ථක ජනතාවාදී ප්‍රතිචාරයක් නොවේ. අද ඔහුගේ ආණ්ඩුව ජනතාව බිත්තියට තබමින් අසන්නේ “ආර්ථිකයද? ප්‍රජාතන්ත්‍රවාදයද?” යන ප්‍රශ්නයයි. මෙය අපට පෙනෙන ආකාරයට නම් “ඔබට වුවමනා ඇස් දෙකෙන් කුමන ඇසද?” යනුවෙන් ප්‍රශ්න කිරීමක් හා සාමානය. මක්නිසාද යත්? කෙනෙකුට ඇස් දෙකම එක හා සමාන වටිනා සම්පත් දෙකක් බවය. එයින් එක් ඇසක් පමණක් සෑහේ යැයි කිසිදු සිහි බුද්ධි ඇති අයෙක් නම් නොකියති. එනිසා මේ මූලධර්ම නැතහොත් සංකල්ප දෙක වන ආර්ථිකය හා ප්‍රජාතන්ත්‍රවාදය එකිනෙක සමගද බැඳී තිබෙන්නා වූ ප්‍රබල සමාජ වටිනාකම්ය. ප්‍රජාතන්ත්‍රවාදය මැඬලමින් හෝ එයට උඩින් පනිමින් හෝ ලබාගත හැකි ආර්ථික සංවර්ධනය කුමක්ද? එය බොහෝ විට යහපත් ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක වන සාධනීය ආර්ථිකයක් නොවීමටද ඉඩ තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්, අයිතීන් බුල්ඩෝසර්කරණය කිරීමට අනුබල දෙන කළු ආර්ථිකයක් සමාජගත වුවහොත් එය මැනවැයි කිව හැකිද? එනිසා ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම සම්මුතීන් සුරකිමින් ආර්ථිකයද ගොඩ නංවිය යුතුය.

කෙසේ වුවද මේ වනවිට මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ සංවාදය තියුණු හා ආන්දෝලනාත්මක එකක්ද වී තිබේ. එයට හේතු වී ඇත්තේ ජනාධිපති රනිල් ප්‍රමුඛ ආණ්ඩුවේ සමහරුන්ගේ අභිමතයද ඇතිව පළාත් පාලන මැතිවරණ ක්‍රියාදාමයට සිදුවෙමින් තිබෙන බාධාවන්, කෙණෙහිලිකම් හා හරස් කැපීම්ය. ජනාධිපතිවරණය, මහ මැතිවරණය මෙන්ම පළාත් පාලන මැතිවරණ හා පළාත් සභා මැතිවරණයද අපේ ව්‍යවස්ථාවෙන් ප්‍රකාශයට පත්කර තිබෙන ව්‍යවස්ථාපිත වගකීම්ය. නිදහස් හා සාධාරණ මැතිවරණය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය හා සම්බන්ධ ක්‍රියාවක්ද වේ. මැතිවරණ නොපවත්වා ව්‍යවස්ථාව අවභාවිත කිරීමට කිසිදු ආණ්ඩුවකට අයිතියක් ද නැත. එහෙත් අතීතයේදීත් ඒ ජනතා හිමිකමට බාධා පමුණුවා තිබේ. දැන් මේ ආණ්ඩුව සැරසෙන්නේද ජනතා පරමාධිපත්‍ය නොතකා ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් කිසියම් නීතිමය තත්වයක් පෙන්වා උදුරා ගැනීමටද?

ආණ්ඩුවේ මුදල් ඇමැතිවරයා ද වන ජනාධිපති රනිල් මේ සම්බන්ධයෙන් අනුග්‍රහයක් නොදීමට හේතුවී තිබෙන්නේ දැනට මැතිවරණය පිළිබඳ පාර්ලිමේන්තුවේ මතුව තිබෙන වරප්‍රසාද ප්‍රශ්නයයි. ඒ මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත විසින් මතු කරන ලද්දකි. එම මැතිවරණය සම්බන්ධයෙන් ඉකුත් 03 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන ලද අතුරු නියෝග මගින් ව්‍යවස්ථාදායකගේ වරප්‍රසාද හා බලතල උල්ලංඝනය වී ඇති බව ඔවුහු පවසා තිබේ. දැන් එය වරප්‍රසාද කමිටුවට යොමුකර තීරණයක් ගත යුතු බව කථානායකවරයාගේද අදහස වී තිබේ.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුව හා විපක්‍ෂය අතර ඇති මත භේදය ඉතා පැහැදිලිය. විපක්‍ෂ නායකවරයා පමණක් නොව විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම වෙනත් සිවිල් ක්‍රියාකාරීන් විසින්ද මෙම වරප්‍රසාද ප්‍රශ්නය ගැන කෙරෙන විවේචනයෙහි හරය වන්නේ ආණ්ඩුව තමන්ට හිමිවන නියත පරාජයට බියෙන් හිස සඟවා ගැනීමට නීතිමය ආවරණ සොයන බවය.

මෙහිදී අපට පෙනී යන කාරණය වන්නේ ව්‍යවස්ථාදායකය හා අධිකරණය මෙන්ම විධායකය යන මෙරටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පදනම සසල විය හැකිද යන්නය. පවතින ආණ්ඩුවක අභිමතයට එරෙහිව ලැබෙන තීන්දුවකදී ඇතිවිය හැකි ගැටුම යහපත් දෙයක් නොවේ. අධිකරණය යනු උත්තරීතර ආයතනය වන්නා සේම යුක්තිය හා සාධාරණය පිළිබඳ අවසන් තීරකයාද බව කව්රුත් දනිති. එහෙව් අධිකරණයට දේශපාලන අරමුණු වෙනුවෙන් පෙනී සිටිය නොහැක. ඉතිහාසය විසින්ද එය තහවුරු කරනු ලැබ ඇත. එහෙත් ජේ. ආර්. ජයවර්ධන මෙන්ම මහින්ද රාජපක්‍ෂ විධායකය හොබවමින් ශ්‍රේෂ්ඨාධිකරණය නොතකා ක්‍රියා කළ අවස්ථා ගැනද සටහන් වී තිබේ. ජයවර්ධන එදා අගවිනිසුරු ලෙස පත් කළ නෙවිල් සමරකෝන් සම්බන්ධව දැක්වූ ප්‍රතිචාර මෙන්ම මහින්ද මෙරටේ ප්‍රථම කාන්තා අගවිනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩාරනායක එම ධුරයෙන් නෙරපා දැමූ ආකාරයද මේ ගැටුම්වල අවාසනාවන්ත සටහන් ලෙස ඉතිරි වී තිබේ.

ශිරාණි බණ්ඩාරනායක තමන්ට මුහුණදීමට සිදු වූ දේශපාලන බලපෑම්, මානසික හිංසනයන් පිළිබඳ සිංහලෙන් ලියා තිබෙන “උත්තරීතර දෝෂාභියෝගයේ ඇතුළාන්තය” නමැති කෘතිය තුළ සඳහන් කර තිබේ. එදා ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද “නගර සහ ග්‍රාම සැලසුම් සංවර්ධන පනත් කෙටුම්පත” නීතියක් බවට පත් නොවූයේ අග විනිසුරුවරියගේ තීන්දුව නිසාය. පසුව යළිත් ඇයගේ අවධානයට ලක්වූ “මග නැගුම” සම්බන්ධ කෙටුම්පතද අනුමත නොවුණි. ඇයට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වූයේ එදා ආණ්ඩුවේ මතයට එකඟ නොවූ නිසා බව ඇය සිය කෘතියෙහි විස්තර කර ඇත. රටක අධිකරණය ස්වාධීන විය යුතු අතර විනිශ්චයකරුවන්ගේ අවංකභාවය මහජනයා වෙනුවෙන් යුක්තිය ඉටුකිරීම යන කරුණු නොතකා හැරීමට නොහැකි බව ද ඇය පෙන්වා දෙන්නේ රාජපක්‍ෂ පාලන සමයෙහි අඳුරින් වසා තැබුණු සත්‍යයද සමගය. අගවිනිසුරුවරිය වෙනුවෙන් පෙනී සිටි කීර්තිමත් නීතිඥයකු වන රොමේෂ් ද සිල්වාගේ සියුම් හා ප්‍රබුද්ධ තර්ක කෙතරම් බලවත් වුවත් ඒ කාරක සභාවෙන් ලැබුණු ප්‍රතිචාර යහපත් නොවූ බව ද ඇය සඳහන් කර තිබේ. අවලාද, මඩප්‍රහාර, වියරු සිනා, හිස් මිනිසුන්ගේ දේශපාලනය ආදිය මෙම කෘතියෙහි සටහන්වී තිබේ. මෙම කෘතිය කියවන පාඨකයකුට ඇතිවන හැඟීම් කෙබඳු වුවත් එය නිසැකයෙන්ම ස්වාධීන අධිකරණයක් වෙනුවෙන් දේශපාලන බල අධිකාරය සමග ගැටුණු අභීත බුද්ධිමය ප්‍රතිචාරයක් ලෙස හැඟී යනු ඇත. (උත්තරීතර 2019 දී සරසවි ප්‍රකාශනයක් ලෙස නිකුත් වී තිබේ)

අප අවසන් වසයෙන් සඳහන් කරන්නේද අධිකරණ ස්වාධීනත්වය යනු රටක හැදියාව, විශිෂ්ටත්වය පිළිබිඹු කිරීමක් බවය. එය ගෞරවනීය දෙවොලක් බවට පත් කළ හැකි මහජන නියෝජිතයන්ට හා නීතිගරුක පුරවැසියන්ට පමණි. ජනතා පරමාධිපත්‍ය තාවකාලික භාරකාරත්වයක් වුවත් ඒ යථාර්ථය නොතකා දේශපාලන පිමි පනින කිසිවෙක් සිටිත් නම් ඔහුට හෝ ඇයට හිමිවිය හැක්කේ ඉතිහාසයේ කුණු බක්කිය පමණක් බව ද ලියා තැබිය යුතුය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment