දුරාතිතයේ අනුරපුර රාජධානිය පැවති යුගයේ සිට රෝම වෙළෙඳ නාවිකයන් ගේ ආගමනය නිසා, ‘කතෝලික දහම’ ශ්‍රී ලාංකිකයන් අතර සුඵ වශයෙන් පැතිර පවතින්නට ඇතැයි මත පළවී තිබුණ ද එය නිසිලෙස, ක්‍රමානුකූලව සංවිධානාත්මකව ස්ථාපනය වන්නේ ‘පෘතුගීසින්ගේ ආගමනය සමගිනි. පළමුව මුහුදුබඩ පළාත් හී ගොඩනැගුණු දේවස්ථානයන්හි ගීතිකා ලතින් බසින් ගැයුණු බව වාර්තා වී තිබුණ ද ක්‍රි. ව. 1705 පමණ යුගයේදී දකුණු ඉන්දියාවෙන් මෙහි පැමිණ් කොන්කානි බ්‍රාහ්මණ වංශික ජාකොමේ ගොන්සාල්වේස් පියතුමාගේ මූලිකත්වයෙන් පළමුවර ඒවා ‘සිංහල බසට’ පරිවර්තනය කරන්නට යෙදුනු බව කියැවේ.

එතුමා විසින් සිංහල බසින් සම්පාදනය කරන ලද ගීතිකා මෙන්ම යාඥා ඔස්සේ ‘සිංහල කතෝලික සාහිත්‍යය’ හැදි වැඩි පෝෂණය විය. එවකට මුහුදුබඩ පළාත් පරිපාලනය සිදුකළ ලන්දේසි ජාතිකයන් කතෝලික දහම යටපත් කර, දිවයිනෙන් අතුගා දමන්නට දරන ලද උත්සාහය ව්‍යර්ථ කිරීමේ පුරෝගාමී මෙහෙවරක යෙදුනේ ‘ජුසේ වාස්’ සහ මෙම ‘ගොන්සාල්වේස්’ පියතුමන් දෙපොළ විසිනි. වියැකෙමින් තිබු කිතුණු දහම සිංහල කිතුණු සාහිත්‍යයක් ගොඩනඟා, එය සාමාන්‍ය ජනයා අතර ප්‍රචලිත කිරීමේ සියලු ගෞරව බුහුමානය එතුමන් සතුය.

‘බෞද්ධ මහ තෙරවරු’ යටතේ පුරාණ සම්භාව්‍ය සිංහල සාහිත්‍ය ග්‍රන්ථාවලිය හොඳින් හදාරා, සිංහල බසෙහි මනා නිපුණත්වයක් ලබාගත් එතුමා විසින් 18 වන සියවසේ රචනා කරන්නට යෙදුනු, පහත කියැවෙන ගීතිකා පෙළෙහි සරල සුගම බව, විසින් එතුමා සතුවූ සිංහල භාෂා විශාදරත්වය මනා ලෙස ප්‍රකට කරයි.

උඳුවප් මාසයේ ඇසෙන හෙළ කිතු බැති ගී

‘දෙවිඳූ උපන්නේය සතුනි දෙවිඳු උපන්නේය ඔහෝ….
දෙවිඳු සර්ව නායක වන දිළිඳු එමනු වෙස් ගනිමිනි…
නිරිඳු දවිත් කුල සසොබන….
බිලිඳු ලෙසට මෙහි වඩිමින….

දෙරණේ… තෘණ යහනේ…. කිම සයනේ…සුර රජුනේ…
රංචු ආංජුවරු නෙක එති පංච තූර්ය නාද කරති…

නොංචි නොවම කියමින් තුති…..
පුංචි දෙවිඳු කුමරු වඳිති…

තෙපලා… තුති ගොස ලා… නෙක තොස ලා…. පසුබැසලා…

වසර 200 කට අධික කාලයක් මුඛ පරම්පරාගතව ආ උක්ත නිර්මාණය අපරදිග ස්වර ලිපියකට පරිවර්තනය කරන ලද්දේ 1967 වසරේදී නයිනමඩමේ ජේ. කේ. එස්. පෙරේරා මහතා විසින් බව මහැදුරු සුනිල් ආරියරත්නයන් ගේ ‘කැරොල්-පසම්-කන්තාරු’ පර්යේෂණාත්මක හස්තසාර ග්‍රන්ථයේ සඳහන්ය. ‘ජන ගී’ තනු අනුව ආගමික වදන් පබඳාලූ කැරොල් ගීතිකාවන්ට උක්ත ගීතය මනා නිදසුනකැයි ඉග්නේෂස් පෙරේරා පියතුමා විසින් පවසනු ලැබ ඇතැයි ද එම කෘතියේ වැඩිදුරටත් සඳහන්ය.

සුනිල් සාන්ත සිසු ‘අයිවෝ ඩෙනිස්’ ඇතුඵ ගායිකාවන් එය මෑත කාලීනව තනු යොදා, සංගීතවත් කර ගැයූ අතර, ඒ ප්‍රයත්නයේ ප්‍රතිඵලය ලෙස බැතිමතුන්හට ගුවන් විදුලියෙන් ශ්‍රවණය කරන්නට ලැබිණි.

සිහල කැරොල් නත්තල් දින මැදියම් රැයේ දේවස්ථාන භුමිය සිසාර නැගෙයි. පසුගිය සියවසේ මුල් යුගයේ අත්‍යාලංකාරයෙන් සරසන ලද ගොන්බැඳි කරත්තවල නැගුනු ළමෝ ඉටිපන්දම් සුරත දරා එහි ගී ගයමින් ගමන් කරන ලද බවද 50 දශකයේදී, ඊට මෝටර් රථ යොදාගන්නට පටන් ගැනුනු බවද කියැවේ. මතු සඳහන් පරිදි ගාම්භීරත්වය ප්‍රකට කළ ‘සංස්කෘත’ වදන් අවම කරගනිමින් ‘අතිශය සරළ’ සිංහල වදන් භාවිතය ‘නත්තල් කැරොල් ගීයේ’ අනන්‍යතාවයයි.

පසුගිය සියවසේ මුල් දශකයන් දක්වා ‘රූකඩ’ මගින් රඟ දක්වමින් සිටි මීගමු දූවේ ‘පාස්කු’ සංදර්ශනයේ පිටපත ලෙස යොදාගනු ලැබුවේ පෙර සඳහන් ගොන්සාල්වේස් පියතුමාගේ රචනයකි. 1939 පමණ කාලයේ දී එහි මීසම අධිපති ධුරය ලද මර්සලීනු ජයකොඩි පියතුමාණෝ විසින් එය නවතාවයකට බඳුන් කරන ලද අතර නව ‘පසන්’ ගීතිකා ද නිර්මාණය කරන ලද්දෝය. එතැන් හි සිට රූකඩ යුගය අවසන් කරමින් දෙසියපණහකට අධික ස්ත්‍රී පුරුෂ නඵවන් එහි රංගනයේ යෙදුනේ එතුමාගේ මග පෙන්වීමෙන් බව කියැවේ.

දිළිඳුන් වෙත පෑ දයා පරවශ ගුණයෙන් සපිරි එතුමාගේ ඒ ගුණාංගය ‘මගේ නත්තල දුගියා බත්කන දාය…’ නම් වූ ප්‍රකට කියමන විසින් පසක් කරයි. සාහිත්‍ය කලාවේ නිපුණයෙකු කවියෙකු, ගීත රචකයෙකු වූ මෙතුමා හෙළ සංස්කෘතියට මහත් සේ පෙම්බැඳ, එහි ගුණංග සිය නිර්මාණයන්ගෙන් ප්‍රකට කළේය. ගොන්සාල්වේස් පියතුමා විසින් දියත් කරන්නට යෙදුනු හෙළ කිතුණු පුනරුදය, ඉන් සියවස් දෙකකට අධික දිර්ඝ යුගයක විරාමයකට පසුව, මැග්සාසෙයි සම්මාන ලාභී ‘ජයකොඩි’ පියතුමාණෝ විසින් යළිත් පණගන්වන ලද්දේය. ඒ සඳහා එතුමා වඩාත් සරළ සුගම හෙළවදන් යොදමින් නව ගීතිකා රචනා කර, ඒවා කමණීය තනු සහ රිද්ම යොදා හැඩ ගන්වනු ලැබීය. දිවයිනේ බහුතර බොදු බැතිමත් ශ්‍රාවකයන් පවා වසඟයට පත් ‘රොනට වඩින බිඟු ඔබයි කැකුඵ මල මමයි…’ , ‘බිලිඳෙකු හිනැහෙනවා මූදක රැළි වාගේ…’ , ‘නෙඵම් පිපිලා පෙති විසිරිලා..’ ‘සුවඳ ජලේ පිපි කුමුදිනිය…’ ඒ අතරින් වඩාත් කැපී පෙනෙයි.

පසුකාලීන ගායන ශීල්පිනී නැසිගිය ‘චිත්‍රා සෝමපාල’ ද ඇයගෙන් පසුව කලාශුරී ලතා වල්පොල ද ඇතුළු පිරිස් ඒවා ගයා තැටිගත කළ අතර එතුමා විසින් දියත් කරන්නට යෙදුනු ‘කලා ලංකා පදනම’ ඊට අනුග්‍රහය දැක්වීය.

උඳුවප් මාසයේ ඇසෙන හෙළ කිතු බැති ගී

40 දශකයේ ගැයුනු සිංහල ගීතය, විදෙස් ගී තනු සහ ගායන අනුකරණයෙන් මුදවා හරිමින්, ස්වාධීන මධුර තනුවෙන් සරසාලූ ‘සුනිල් සාන්ත’ සංගීතවේදියා, මර්සලීනු ජයකොඩි පියතුමා සමීපව ඇසුරු කරමින්, කලා කටයුතුවල නිරත වූයේය. දේවස්ථාන ගීතිකාවන් උදෙසා නව තනු නිර්මාණ බිහිකිරීමේ කටයුත්තට ඔහු ද දායකත්වය දැක්වූ බව කියැවේ. ඔහුගේ ගුවන් විදුලි ගීතවල තනු මෙන්ම ගායන ලතාවද, ගීතිකාවන් ගේ රටාව හා සබඳකම් දක්වන්නේ යැයි, ඇතැමුන් ප්‍රකාශ කරනුයේ, ඔහු ඒවා උදෙසා ද තනු නිර්මාණය කළ නිසා විය හැකිය.

ප්‍රියසාද, මංගල්‍ය අසිරිය මතුකෙරෙන නත්තල් සමයේ, ප්‍රිති ප්‍රමෝදය කුළුගන්වනු වස්, බටහිර පොප් ශෛලියේ – බෙම්ටෝ – 6-8 තාලරූපයේ වේගරිද්ම නත්තල් ගීතිකාවල අවශ්‍යතාවය සපුරාලන්නටදෝ පසුකාලීන ගීතයන් ඒ ලතාවට අනුගතව බිහිකිරිමේ නැඹුරුවක් දක්නට ලැබේ. සාද ගීත රසය ඉවකළ සාමාන්‍ය රසිකයන් විසින් ඒවා ආදරයෙන් වැළඳගන්නා ලද බව පෙනීයයි. පහත සාකච්ඡාවට බඳුන් කෙරෙන්නේ එවැනි ගීත පෙළකි.

‘නත්තල’ කිතුණු ප්‍රජාවෙන් බැහැර ලෝ වාසී ජනතාව අතරට පැතිරවූ සංකේතය ‘නත්තල් සීයා’ වන නිසාදෝ, ඔහුගේ කාර්යභාරය හොඳින් වැටහෙන පරිදි ගැයෙන ගීතය පබඳනු ලැබුවේ දක්ෂ සිනමා රංගධරයෙකු, ගීත රචකයකුව සිටි දිවංගත ‘උපාලි අත්තනායකයන්’ය. ඒ 1959 තරම් දුර යුගයකදී ‘ගුවන් විදුලිය උදෙසාය. හඬ මුසුකළේ කිතුණු බැතිමත් සී. ඩී. ෆොන්සේකා ප්‍රමුඛ පසුව සිනමා පසුබිම් ගායනයේ කිරුළු පළන් ඇන්ජලීන් ද ලැනරෝල් (ගුණතිලක), ෂෙල්ටන් මෙන්ඩිස්, සහ රසිනා යකීම් යන ගායක ගායිකාවන් පිරිස විසිනි. සංගීතඥ ‘පැට්‍රික් දෙණිපිටිය’ ගේ තනු සහ සංගීත සංයෝජනයෙන් යුත් එය අඩසියවසකට පමණ පෙර යුගයකදී බිහිවුණු එය ‘නත්තල’ සහ ඒ වටා බැඳුණු සංස්කෘතිකාංග පිළිබඳව ලියැවුණු ප්‍රකට ගීයක් ලෙස අදද සැලකෙයි.

පුළුන් වගේ සුදු රැවුල දිගයි…
ලස්සන ඇඳුම හැඩයි කදිමයි…
රබන් ගසයි ගෙජ්ජිද සොළවයි…
මේ එන්නේ නත්තල් සීයයි….

නත්තල් සීයා – ‘පුංචි බබාලට නංගීට මල්ලිට දෙන්න තමා ගෙන ආවේ මා…’
ළමෝ – මට ඕනෑ කාරෙකයි… බෝනික්කා මට හොඳයි.ත. සෙල්ලම් බඩු මේ යසයි…’

කරුණාරත්න අබේසේකරයන් විසින් නත්තල උළෙල ට මුල්වූ ‘ජේසු බිලිඳු’ උපත මතුකර දක්වමින් විරචිත ජනප්‍රියතම ගීතය රචනා කරන ලද්දේ 70 දශකයේ මැද භාගයේදී ක්ලැරන්ස් විජේවර්ධන විසින් කෙටිකාලීනව මෙහෙයවූ ‘ද ගෝල්ඩන් චයිම්ස්’ වෙනුවෙනි. එහි සාමාජික අනිල් භාරතී විසින් එය ගයන ලද අතර, බොදුනුවන්ගේ වෙසක් උළෙලෙහි ඇසෙන ජනප්‍රියතම ගීතය වූ කලාශුරී මොහිදීන් බෙග් මාස්ටර් ගේ ‘බුද්ධං සරණං ගච්ඡාමී…’ මෙන්ම කිතුණුවන්ගේ නත්තලෙහි වැයෙන‘බෙත්ලෙහෙම් පුරේ’ ගීතය ද්විත්වයේම නිර්මාණකරුවා වීමේ භාග්‍යය හිමිවන්නේ උක්ත ගීත රචකයා හටය. එහි තනු නිර්මාණය සහ සංගීතය ක්ලැරන්ස් විජේවර්ධනගෙනි.

බෙත්ලෙහෙම් පුරේ…
දිළිඳු ගවලෙනේ…
ඔරුව තුලේ සිසිලේ නිදයි…
ජේසූ බිලින්දා…

උඳුවප් මාසයේ ඇසෙන හෙළ කිතු බැති ගී

නත්තල් උළෙල රසගැන්වූ ගීත අතරින් වැඩිම ගණනක සංගීත අධ්‍යක්ෂවරයා වූයේ ඔහුය. 70 දශකයේ සුප්‍රකට ඉන්ද්‍රානි, මල්ලිකා, අයිරාංගනී ගායිකා ත්‍රිත්වයෙ ‘ත්‍රී සිස්ටර්ස්’ ගැයූ නත්තල් ආසිරි ගීතයේ පද රචකය ද කරුණාරත්න අබේසේකරයන්මය. තනු නිර්මාණය සහ සංගීත අධ්‍යක්ෂණය ක්ලැරන්ස් ගෙනි.

ජේසු බිලින්දා…
ලෝකේ උපන්දා…
කිතු බැතියන් පුබුදු කරන මහ මංගල්ලේ…

දෙව් මැදුරෙන් ඝාන්ඨාර හඬ නැගඑනවා…
දේව පුතුට උපහාරෙන් කුසුම් පිදෙනවා….’

ඔහු පද රචනා කරමින් සංගීත නිර්මාණය කළ තවත් නත්තල් ගීතයකට හඬ එක්කළේ ඔහුම සංගීත ලොවට හඳුන්වාදුන් ළමා ශීල්පිනියක් වූ ලිලන්ති කරුණානායක විසිනි.

පබළු මිටක පබළු පොටක කැකුළු වැලක් මල්වෙලා…
නිල් අඳුරේ පවන දිගේ සුවඳ ගඟක් එහි ගලා…
සුවඳ සුවඳ සුවඳ එකට පොදිවෙලා…
සුවඳ දුමින් රනින් පුදමු ගොපළු හලේ මල් සලා…
ටිකිරි ටිකිරි ටිකිරි ටිකිරි ජේසු බිලින්දා….

සාම්ප්‍රදායික ගීතිකා ශෛලියෙන් බැහැරව, ඉලෙක්ට්‍රෝනික පොප් සංගීතය මුසුකර, වේගරිද්මයෙන් බිහිවුණු නත්තල් ගීත, එයින් වඩ වඩාත් ශ්‍රාවක ජනාදරයට පාත්‍ර කරන්නට එහි නිර්මාණකරුවන් තැත් දැරීය. ඒ කවර හෙයින්ද යත්, ඒවා ව්‍යාපාරික ප්‍රජාව විසින් ගී තැටි වෙළෙඳ පොළ ඉලක්ක කරගනිමින් සිදුකරන ලද ආයෝජනයන් වන නිසාය. සැණකෙළි සිරිගත් නත්තල් උළෙල විචිත්‍රවත් කරන්නට, සාදයන් අතරතුරේ ගයන්නට සහ වාදනය කරන්නට සුදුසු ලෙස ඒවා ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය, ශ්‍රාවක ඉල්ලුම ඔවුන් වටහාගන්නට ඇතිවා නිසැකය.

(alleluia) දෙවියන්ට ප්‍රශංසා වේවා… නම් වූ ලතින් පාඨය පෙරවදන් කොට ලියැවුණු, පොප් ශෛලියේ ළමා නත්තල් බැති ගීයක මිහිර විඳගැන්මට, ශ්‍රාවක දනන් හට අවස්ථාව උදාකරන ලද්දේ ගායන ශීල්පී, තනු නිර්මාපක, සංගීත අධ්‍යක්ෂ, ගී පද රචක අදී මෙකී සෑම ක්ෂේත්‍රයකම දස්කම් පෑ ‘මෙල්රෝයි ධර්මරත්න’ ශිල්පියා විසිනි. ඔහු 60-70 දශකයේ කණ්ඩායම් ගී සම්ප්‍රදායේ ප්‍රමුඛ ශීල්පීන් වූ ධර්මරත්න බ්‍රදර්ස් කණ්ඩායමේ මෙහෙයුම්කරුවාණෝ වෙති. පවුලේ ඥාති දියණි, පොප් ළමා ගායන රටාවේ පුරෝගාමි ශීරෝමි ප්‍රනාන්දු විසින් එය ඉදිරිපත් කරන ලදි.

alleluia…. alleluia….

උඳුවප් මාසේ… සීතල දවසක පුංචි පහේ ගව මඩුවක ඉපදුනි….

පුංචි බබා ජේසු බබා… ලස්සන අහසේ තරුවක් දිළිසී ඉපදුනු ආරංචිය පැතිරෙව්වේ….

ලෝ දස දෙස අතිශය ජනප්‍රසාදය දින “Mary’s Boy Child’, නත්තල් කැරොල් ගීතිකාව පබඳින ලද්දේ 1956 ලෙස වාර්තා වන අතර ඒ ඇමෙරිකානු ජාතික ජෙස්ටර් හෙයාස්ටර්න් (Jester Hairston) විසිනි. පළමුකොට උපන්දින සාදයක ගයනු පිණිස බටහිර ඉන්දීය දූපත් වාසි මිතුරන් පිරිසක් අරභයා ලියූ පදවැලක් ප්‍රතිනිර්මාණය කිරීමෙන් පසුව එය නත්තල් කැරොල් ගීතිකාවකට පරිවර්තනය කරන ලද බව ඔහු පිළිබඳව විකිපීඩියා වාර්තාවල සඳහන්ය. එම ඇමෙරිකානු කැලිප්සෝ ගායන තරුවක් ලෙස වැජඹුණු හැරී බෙලෆොන්ටේ (Harry Belafonte) විසින් එය තැටිගත කරන ලදුව, බ්‍රිතාන්‍ය ගීත දර්ශකයන්හී පළමුවැන්නෙහි වැජඹුනේ ද 1957 වසරේ බව කියැවේ. එතැන් හි සිට ලෝක පූජිත ගායන තාරකාවන් වූ ජිම් රිව්ස්, එල්විස් ප්‍රෙස්ලි ඇතුඵ පිරිස් විසින් ද 1975 වසරේදී එදවස ගී රසිකයන් මන්මත් කළ සුප්‍රකට බොනිඇම් (BoneyM) පිරිස රෙගේ (Raggae) තාලරූපයෙන්ද තම තමනට ආවේණික ශෛලීන් අනුව ගයා එය ජගත් කැරොල් ගීතිකාවක් ලෙස කිරුළු ගන්වන ලදි.

උඳුවප් මාසයේ ඇසෙන හෙළ කිතු බැති ගී

ශ්‍රී ලංකාවේදී, මෙල්රෝයි ධර්මරත්නයන් විසින් එය ලුහුඬින් සිංහල අනුවාදනයකට ලක් කරවා, සිය සහෝදරයන් තිදෙනා ද සමග අභිනව ධර්මරත්න සහෝදරයෝ ගායක කණ්ඩායමේ ගැයුමක් ලෙස එළිදැක්වූයේ 1965 තරම් ඈත යුගයකදීය. එකල්හී ලංකා ගුවන් විදුලියේ පටිගත කරන ලද මෙම නත්තල් කැරොල් ගීතිකාව එතැන් හි සිට දිවයින පුරා දේවස්ථානයන්හි හිදී ගයනු ලබන්නේ නත්තල් උදව සනිටුහන් කරමිනි.

සාහිත්‍ය නිර්මාණ – පුවත්පත් කලාව – ගීත රචනය සහ සංගීත අධ්‍යක්ෂණය ආදී කලා නිර්මාණ බිහිකිරීමේ වරම ලද තමන් උක්ත ලෝක පූජිත ගීතිකාව සිංහල බැතිමතුන් උදෙසා පරිවර්තනය කර ගයා දෙව් පුදට ලක් කරන්නට හැකිවීම, තමා ලද භාග්‍යයක් බව කියා සිටියේය.

කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ ශූද්ධ වූ නගරේ…

ජේසු මෙලොවට බිහිවුණේ පුංචි ගව මඬුවේ….

වෙසෙස් තුති පුද – ගායන ශීල්පී මෙල්රෝයි ධර්මරත්න සහ සංගීතඥ මහේෂ් දෙනිපිටිය මහත්වරුන් වෙත.

● ප්‍රභාත් රාජසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment