පිතිකරුවෝ කඩුලු විසිකර අවසන් සටනත් පරදිති

362

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වූ තරග 9 න් 7 ක් පරාජය වූ බව බෙංගලූරු හි චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී දී ඊයේ (09 වැනිදා) වාර්තා අතරට එක් විණි.

තරගාවලියේ අවසන් තරගය ලෙස නවසීලන්තයට එරෙහිව ඊයේ පැවැති තරගයෙන් කඩුලු 5 ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ ජයග්‍රහණය කරනු ලැබුවේ එංගලන්තයට සහ නෙදර්ලන්තයට එරෙහිව පමණි.

ඒ අනුව මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ 09 වැනි ස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලංකාව 2025 වසරේ පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේද දැඩි අර්බුදයකට මුහුණ දෙමින් සිටී.

ශ්‍රී ලංකාවට ඉහළින් සිටින බංග්ලාදේශය ඔස්ටේ්‍රලියාව හමුවේ ඉතා දරුණු පරාජයක් (ඉතා අඩු ලකුණු ලබා ගැනීමේ වේගයක් සහිතව) නොලැබුවහොත් ශ්‍රී ලංකාවට ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ද දොරටු වැසේ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 171 කට දැවී ගිය අතර එය පහසු ඉලක්කයක් කර ගත් නවසීලන්තය කඩුලු 5 ක් දැවී ජයග්‍රහණය ලබා ගත්තේය.

නවසීලන්ත ජයග්‍රහණය වෙනුවෙන් පිතිහරඹයෙන් දායකත්වය දුන් ඩෙවොන් කොන්වේ සහ රචින් රවීන්ද්‍ර 45 සහ 43 බැගින් ද ඩැරිල් මිචෙල් ලකුණු 43 ක් ද ලැබීය.

ඇන්ජලෝ මැතිව්ස් කඩුලු 2 ක් ද මහීෂ් තීක්ෂණ සහ දුෂ්මන්ත චමීර එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ 10 වැනි කඩුල්ල සඳහා වැඩිම පන්දු සංඛ්‍යාවකට මුහුණ දුන් පිතිකරුවන් දෙදෙනාගේ වාර්තාව බිඳ දමමින් පන්දු 87 කට මුහුණ දී ලකුණු 43ක් රැස් කළ මහීෂ් තීක්ෂණ සහ ඩිල්ශාන් මධුෂංක ට ස්තුති වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට එම ලකුණු සංඛ්‍යාව හෝ සටහන් කර ගැනීමට හැකි විය.

ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාවයෙන් ශ්‍රී ලංකාවේ වසර 40 ක් පැරැණි අවසන් කඩුල්ලේ ඉහළම ලකුණු සම්බන්ධතාවයේ වාර්තාවද අලුතින් ලියැවිණි. එම සම්බන්ධතාව ශ්‍රී ලංකා ඉනිමේ ඊයේ වාර්තා වූ ඉහළම සම්බන්ධතාව ද වූ අතර ට්‍රනේට් බෝල්ට් කඩුලු 3 ක් සහ රචින් රවීන්ද්‍ර, ලොකී ෆර්ගසන් මෙන්ම මිචෙල් සැන්ට්නර් ද කඩුලු 2 බැගින් දවා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම විනාශ කළහ.

මහීෂ් තීක්ෂණ නොදැවී ලකුණු 38 ක් සහ ඩිල්ෂාන් මධුෂංක ලකුණු 19 ක් ලබා ගනිමින් ඔවුන්ගේ ඉහළම එක් දින ඉනිම් ඊයේ සටහන් කළ අතර මෙවර තරගාවලියේ පළමු පන්දු වාර 10 තුළදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දැවී ගිය කණ්ඩායමේ වාර්තාවද ඊයේ ශ්‍රී ලංකාව ඉදිරියේ ලියවුණි.

තරගයේ කාසිය වාසිය දිනු නවසීලන්ත නායක කේන් විලියම්සන් පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර සුපුරුදු දුර්වල ආරම්භය යළි සිහි ගන්වමින් ශ්‍රී ලංකාවේ පළමු කඩුල්ල ලකුණු 03 දී බිඳ වැටුණි. මෙවර තරගාවලියේ තරග 9 ක් තුළදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් ගේ සම්බන්ධතාව ලකුණු 22 ඉක්මවා ගොස් තිබෙන්නේ එක් අවස්ථාවක පමණි.

තරග 6 ක ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 10 කට අඩුවෙන් බිඳ වැටී තිබෙන අතර ඊයේ දිනයේදී පැතුම් නිශ්ශංක ලකුණු 2 කට ටිම් සවුති හමුවේ දැවී යද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වූයේ ලකුණු 03 ක් ලෙසය.

නායක කුසල් මෙන්ඩිස් සිය දුර්වල පිතිහරඹය තවදුරටත් ප්‍රදර්ශනය කරමින් ලකුණු 6 කට පිටියෙන් ඉවත් වූ අතර සධීර සමරවික්‍රම ද එක් ලකුණකට බෝල්ට් හමුවේ දැවී ගියේය. අනතුරුව පිටියට පිවිසි චරිත් අසලංක ට එක් වූ කුසල් ජනිත් පෙරේරා ලකුණු 38 ක සම්බන්ධතාවක් පැවැත්වූ අතර එම සම්බන්ධතාවයේදී චරිත් අසලංක ලබා ගෙන තිබුණේ ලකුණු 8 ක් පමණි.

පන්දු 22 කදී කුසල් ජනිත් ඊයේ ලබා ගත් අර්ධ ශතකය නවසීලන්තයට එරෙහිව ලෝක කුසලාන තරගාවලියකදී ඕනෑම රටක ක්‍රීඩකයෙකු ලබා ගත් වේගවත්ම අර්ධ ශතකය වේ. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියා තිබුණේ කැනඩාවේ ජෝන් ඩේව්සන් වූ අතර ඔහු පන්දු 23 කින් එම අර්ධ ශතකය වාර්තා කර තිබුණි.

එසේම ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලියක වාර්තා වූ දෙවෙනි වේගවත්ම අර්ධ ශතකය ද එය වූ අතර මීට පෙර ඇන්ජලෝ මැතිව්ස් පන්දු 23 කදී 2015 වසරේ දී අර්ධ ශතකයක් වාර්තා කර තිබුණි.

එහෙත් චරිත් සහ කුසල් ජනිත් දෙදෙනා එක ළඟ පන්දු වාර දෙකක් තුළදී දැවී යෑමත් සමග පිටියේ රැඳී සිටි ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා ද අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී ගියහ.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව 171/10(46.4)

පැතුම් නිස්සංක 02, කුසල් පෙරේරා 51, කුසල් මෙන්ඩිස් 06, සදීර සමරවික්‍රම 01, චරිත් අසලංක 08, ඇන්ජලෝ මැතිව්ස් 16, ධනංජය ද සිල්වා 19, මහීෂ් තීක්ෂණ නොදැවී 38, චාමික කරුණාරත්න 06, දුෂ්මන්ත චමීර 01, ඩිල්ෂාන් මධුෂංක නොදැවී 19.

පන්දු යැවීම

ට්‍රනේට් බෝල්ට් 10-37-3 ටිම් සව්ති 8-52-1 මිචෙල් සැන්ට්නර් 10-22-2 රචින් රවීන්ද්‍ර 7.4-21-2 ලොකී ෆර්ගසන් 10-35-2

නවසීලන්තය 172/5(23.2)

රචින් රවීන්ද්‍ර 42, ඩෙවෝන් කොන්වේ 45, කේන් විලියම්සන් 14, ඩැරිල් මිචෙල් 43, මාර්ක් චැප්මන් 07, ග්ලේන් පිලිප්ස් නොදැවී 07, ටොම් ලේතම් නොදැවී 02

පන්දු යැවීම

ඩිල්ශාන් මධුෂංක 6.2-58-0 දුෂ්මන්ත චමීර 4-20-1, මහීෂ් තීක්ෂණ 7-43-1 ඇන්ජලෝ මැතිව්ස් 4-29-2 ධනංජය ද සිල්වා 2-22-0

කුෂාන් සුබසිංහ ඉන්දියාවේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment