සජබ විරෝධයට උසාවි 16කින් අවසර – 3කින් වළක්වයි

489

* පොලිසිය කරුණු දක්වා ඇත්තේ අධිකරණය නොමග යවන ලෙසින්  – කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්

සමගි ජනබලවේගය පක්‍ෂ විසින් අද (16 දා) කොළඹ නගරයේ හයිඞ් පිටියේ පැවැත්වීමට සැලසුම් කර ඇති උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාර සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් සෞඛ්‍ය උපමානවලට පටහැනිව නොපවත්වන ලෙසට නියෝගයක් කරන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව හා පොලිසිය කළ ඉල්ලීම් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය ඇතුළු මහෙස්ත‍්‍රාත් අධිකරණ රැුසක් ප‍්‍රතික්‍ෂේප කළේය.

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස, සමගි ජනබලවේගය පක්‍ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිසකට එරෙහිව එකී නියෝග නිකුත් කරන්නැයි කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය හා අතිරේක මහෙස්ත‍්‍රාත් අධිකරණ හයක් හමුවේ පෙනී සිටි පොලිස් කොට්ඨාස 20 ක ස්ථානාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඉල්ලීම් කළහ.

එයට අමතරව කොටුව, මාලිගාකන්ද, ගංගොඩවිල, කළුතර, මතුගම, මිනුවන්ගොඩ, ගල්කිස්ස යන මහෙස්ත‍්‍රාත් අධිකරණ විසින්ද එම ඉල්ලීම් ප‍්‍රතික්‍ෂේප කළ අතර මහර, කඩුවෙල හා හෝමාගම යන අධිකරණ එකී අධිකරණ බලප‍්‍රදේශයේ පිහිටි පොලිස් ස්ථාන විසින් කරන ලද ඉල්ලීම් පිළිගනිමින් එම අධිකරණ බල ප‍්‍රදේශ තුළ උද්ඝෝෂණ හා පෙළපාලි පැවැත්වීම වළක්වමින් නියෝග නිකුත් කළහ.

උද්ඝෝෂකයන් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති නිරෝධායන අණ පනත් හෝ සෞඛ්‍ය උපමානයන් උල්ලංඝනය කරන්නේ නම් නිරෝධායන නීතිය යටතේ නිසි නීතිසමය පියවර ගැනීමේ හා ඒවා වැළැක්වීමට සුදුසු පියවර ගැනීමේ බලය පොලිසිය ප‍්‍රමුඛ සෞඛ්‍ය අංශවලට ඇති බව පෙන්වා දෙමින් මහෙස්ත‍්‍රාත් අධිකරණ විසින් එම ඉල්ලීම් ප‍්‍රතික්‍ෂේප කරනු ලැබීය.

රටපුරා කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් පසුගිය (9 දා* අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවත් අංක 2553/10 දරන එකී ගැසට් නිවේදනයේ සඳහන් සෞඛ්‍ය ආරක්‍ෂිත උපමානවලට පටහැනිව ඒකරාශිවීම් හා උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වෙමින් රටපුරා නැවත කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම ශීඝ‍්‍රලෙස සිදුවිය හැකි බවත් පෙන්වා දෙමින් කෙසෙල්වත්ත පොලිසිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම ඉල්ලීම කළේය.

රටේ ජනතාවට උද්ඝෝෂණ ව්‍යාපාර හෝ විරෝධතා දැක්වීමට ඇති අයිතිය තමන්ද පිළිගන්නා බවත් තමන් ඉල්ලා සිටිනුයේ උද්ඝෝෂණ වැළැක්වීමේ නියෝගයක් නොව සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර නිසි අවසරය ලබාගෙන සෞඛ්‍ය උපමාන අනුගමනය කරනා ලෙසට නියෝගයක් පමණක් වන්නේ යැයිද එහිදී අධිකරණයට පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ජනතාව කොරෝනා වසංගතයේ බිල්ලක් බවට පත් නොකිරීමට වග බලා ගන්නා ලෙසට සුදුසු නියෝගයක් ලබාදීම අධිකරණයේ වගකීම හා යුතුකම වන්නේ යැයිද කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික සී. රාගල මහතාට පෙන්වා දුන්නේය.

තම දෙපාර්තමේන්තුව මෙම ඉල්ලීම කරනා පොලිස් නිලධාරීන්ට සහය දැක්වීමට පැමිණියේ පසුගිය (12 දා* සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලක් අනුව පොලිස්පතිවරයා සිය දෙපාර්තමේන්තුවෙන් කරනලද ඉල්ලීමක් මත බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේය.

රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්‍ෂාව පිළිබඳ සලකා අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 106 වගන්තියේ උප වගන්ති යටතේ සුදුසු නියෝග නිකුත් කිරීමේ බලය අධිකරණය සතු වන්නේ යැයිද එහිදී අධිකරණයට පෙන්වා දුන් දිලීප පීරිස් මහතා එය ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නොවන්නේ යැයිද පෙන්වා දුන්නේය.

කොරෝනා වසංගතය දැඩි ලෙස ව්‍යාප්ත වී ඇති කොළඹ නගරයට පිටස්තර පුද්ගලයන් පැමිණ උද්ඝෝෂණ පැවැත්වීමෙන් නගරයේ පුරවැසියන්ගේ පමණක් නොව පිටස්තර පෙළපාලිකරුවන්ගේ ජීවිතද එකී වසංගතයට ගොදුරු කිරීමක් වන්නේ යැයිද දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

එකී උද්ඝෝෂණවලදී රටේ සාමය හා නීතිය රැුකීමට සිටින පොලිස් නිලධාරීන්ගේ ජීවිතද අනතුරට ලක් කිරීමක් නිතැතින්ම සිදුවිය හැකි බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

උද්ඝෝෂණ ව්‍යාපාර නිසා කොපමණ දෙනකු මියගොස් ඇති බවට කරුණු අනාවරණය වී ඇතිදැයි එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්රවයාගෙන් විමසූ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික සී රාගල මහතා නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කරුණු දක්වනුයේ වගකීමකින් යුතුව වුවත් පොලිස් ස්ථානාධිපතිවරුන් සිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත්තේ අධිකරණය නොමග යවන සුළු ආකාරයෙන් බව පෙනී යන්නේ යැයිද පෙන්වා දුන්නේය.

පොලිසිය උද්ඝෝෂණ වැළැක්වීමට කටයුතු කරනුයේ දේශපාලන අවශ්‍යතා මත බව පැහැදිලි වන බවත් එකී කාර්යයට නීතිපති දෙපාර්තමේන්තුවද මැදිහත්වී ඇත්තේ දේශපාලන බලධාරීන්ගේ ඉල්ලීම් අනුව වන්නේ යැයි උද්ඝෝකයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක හා නීතිඥ අතුල රණගල මහත්වරු අධිකරණයට පෙන්වා දුන්හ.

නෙළුම් පොකුණේ පැවැති රැුස්වීම්වලට හා රට පුරා පැවැති වෙනත් උද්ඝෝෂණවලට නොදැක්වූ විරෝධතාවක් පොලිසිය දක්වනුයේ පැහැදිලිවම දේශපාලන අවශ්‍යතා මත බවද එකී නීතිඥවරු එහිදී අධිකරණයට පෙන්වා දුන්හ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිකුත් කළ එකී අතිවිශේෂ ගැසට් නිවේදනයේ උපමාන පිළිබඳව හා උද්ඝෝෂණ සඳහා එක්විය හැකි ප‍්‍රමාණය පිළිබඳව නිශ්චිතව පෙන්වා දීමක් සිදුකර නොමැති බව පෙන්වා දෙමින් ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා එම ඉල්ලීම් ප‍්‍රතික්‍ෂේප කළේය. අපරාධ නඩු විධාන සංග‍්‍රහය යටතේ අධිකරණයට ඒ සඳහා මැදිහත් වීමේ හැකියාව ඇත්තේ ඉතාමත් හදිසි අවස්ථාවකදී පමණක් වන්නේ යැයිද ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා එහිදී පෙන්වා දුන්නේය.

මේ අතර කොළඹ අංක 5 මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේදී කොටහේන පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලූ අතිරේක මහෙස්ත‍්‍රාත් බණ්ඩාර නෙලූම්දෙණිය මහතා එම පොලිස් බල ප‍්‍රදේශය තුළ අද (16 දා* උද්ඝෝෂණ පැවැත්වීම වළක්වමින් තහනම් නියෝගයක් නිකුත් කොට තිබූ අතර පසුව පෙනී සිටි නීතිඥවරුන් කළ කරුණු දැක්වීම සලකා බලමින් එම නියෝගය අද (16 දා* පෙරවරුව දක්වා අත්හිටුවීමට නියෝග කළේය.

ගල්කිස්ස මහෙස්ත‍්‍රාත් උදේෂ් රණතුංග, මිනුවන්ගොඩ මහෙස්ත‍්‍රාත් කේසර සී. ඒ. සමරදිවාකර, කොළඹ වැඩබලන නිල නොලත් මහෙස්ත‍්‍රාත් නීතිඥ පී. ඞී. පෙරේරා හා කොළඹ වැඩබලන නිල නොලත් මහෙස්ත‍්‍රාත් නීතිඥ අචිනි උමයංගනී මහත්මිය එම නියෝග නිකුත් කළහ.

———————————————

ගල්කිස්ස අධිකරණය – දිලංගා ගෝමස්

මහජනතාව කැඳවමින් සෞඛ්‍ය නීති හා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට පටහැනිව විරෝධතාවක් සිදුකිරීමෙන් පීඩාකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බවද කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් රට වසා දමා විවෘත කොට සංචරණ සීමාද ඉවත් කර පාසල් ද විවෘත කර තිබෙන මෙම අවස්ථාවේ සෞඛ්‍ය නීතිරීති උල්ලංඝනය කරමින් පවත්වනු ලබන මෙවැනි රැුස්වීම හරහා කොරෝනා ව්‍යාප්තිය තීව‍්‍ර වීමට ඉඩකඩ තිබෙන බවත් විපක්ෂ නායකවරයාගේ ප‍්‍රධාන ආරක්ෂක නිලධාරිවරයා විසින් උද්ඝෝෂණයට ප‍්‍රහාරයක් එල්ල විය හැකි බවට කුරුඳුවත්ත පොලිසිය වෙත ලිඛිතව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලකට අනුව මෙවැනි උද්ඝෝෂණයකට ප‍්‍රහාරයක් එල්ල වීමේ ප‍්‍රවණතාවක් ඇති බවද ගල්කිස්ස 1 සහකාර පොලිස් අධිකාරි පුෂ්පකුමාර මහතා ඇතුළු ගල්කිස්ස මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා යන නිලධාරීහු මහේස්ත‍්‍රාත්වරයා හමුවේ උද්ඝෝෂණය වළක්වාලීම සඳහා කරුණු දැක්වූහ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන මාර්ගෝපදේශවල මහජන රැුස්වීම් පැවැත්වීම තහනම් බවට සටහන් කර නොමැති වීමත්, එම උද්ඝෝෂණය ගල්කිස්ස පොලිස් බල ප‍්‍රදේශය තුළ පැවැත්විය හැකි බවට ඉදිරිපත් කළ බුද්ධි තොරතුරු උපකල්පනයන් පමණක් වීම මත පොලිසිය විසින් ඉදිරිපත් කළ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරන බව මහෙස්ත‍්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

—————————————-

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

මිනුවන්ගොඩ සහ කටුනායක පොලිස් ස්ථාන මගින් කළ ඉල්ලීම මිනුවන්ගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණය ප‍්‍රතික්ෂේප කර තිබේ. මිනුවන්ගොඩ සහ කටුනායක යන පොලිස් වසම්වල පදිංචිකරුවන් විශාල පිරිසක් එම උද්ඝෝෂණයට යාමට සූදානම්ව සිටින බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බව පොලිසිය අධිකරණය හමුවේ කීය. කොළඹ බලා යාමට මෙසේ දහස් ගණන් ජනයා එකතු වුවහොත් පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මහජන සෞඛ්‍යයට දැඩි තර්ජනයක් එල්ල විය හැකි බවද පොලිසිය පැවසීය. කොළඹ නගරයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් සහ මහා මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇති විය හැකි බව කී පොලිසිය එයින් මහජන සාමයට මහත් බාධාවක් වන බවද කීය.

උද්ඝෝෂණය පැවැත්වෙනුයේ මෙම අධිකරණ බල ප‍්‍රදේශයේ නොවන බව පැවසූ අධිකරණය තවත් කරුණු කිහිපයක් පෙන්වා දෙමින් පොලිසිය කළ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළේය.

——————————-

ගම්පහ උසාවි දෙකකුත් පොලිසියේ ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කරයි

සමගි ජනබලවේගය සංවිධාන කරන උද්ඝෝෂණය සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාසයේ පොලිස් ස්ථාන හතක් ඉල්ලූ තහනම් නියෝගය ගම්පහ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් මංජුල කරුණාරත්න මහතා සහ ගම්පහ අතිරේක මහෙස්ත‍්‍රාත් ආර්. එස්. එම්. මහේන්ද්‍රරාජා මහතා ඊයේ (15 දා) ප‍්‍රතික්‍ෂේප කළේය.

ගම්පහ, ගණේමුල්ල, යක්කල, බෙම්මුල්ල, මල්වතුහිරිපිටිය, වැලිවේරිය සහ වීරගුල යන පොලිස් ස්ථාන මගින් ඉල්ලීම් කළ තහනම් නියෝග මෙසේ ප‍්‍රතික්‍ෂේප කෙරුණි.

ඒ. ජේ. ඒ. අබේනායක, මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක, ගල්කිස්ස – අධිකරණ දිලංගා ගෝමස්

advertistmentadvertistment
advertistmentadvertistment