පුතා සොයා ආ වෙඩික්කරුවන්ට පියා බිලිවේ

413


අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද අලුයම සිදුකළ වෙඩිතැබීමකින් 62 හැවිරිදි පියකු මරණයට පත්ව ඇත.සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

කොග්ගල්ල උතුරු කඩවර ප්‍රදේශයේ පිහිටි නිවසකට අද අලුයම නාඳුනන පුද්ගලයින් තිදෙනෙකු පැමිණ නිවසේ කවුළුවකින් එබිකම් කර ඇති අතර එහිදී එම නිවසේ සිටි දැරියක විසින් මෙම පිරිස දැක කෑ ගසා ඇත.ඒ සමඟ අදාළ නාඳුනන පුද්ගලයින්ගේ ඉලක්කය වූ පුද්ගලයාගේ පියා නිවසින් පිටතට පැමිණ තිබේ.එහිදී සැකකරුවන් එම පුද්ගලයාට වෙඩි තබා පළාගොස් ඇත.

මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් පොලිසිය වෙත ලැබී නොතිබුණු බවත් නමුත් මෙම නිවසේ හොර හරක් ජාවාරම සම්බන්ධ බවට චෝදනා එල්ලවී ඇති පුද්ගලයින් සිට ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.වෙඩිතැබීම සිදුකරන අවස්ථාවේ එම පුද්ගලයා නිවසේ සිට නොමැත.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දෙදෙනෙක් අවුරුදු 28 සහ 35 වයස් වල වන අතර ඔවුන් එම ප්‍රදේශයේම පුද්ගලයින්ය. තුන්වැනි සැකකරු ගොන්නොරුව පදිංචි 32 හැවිරිදි අයෙකි.

වෙඩිතැබීම සඳහා දේශීයව නිෂ්පාදනය කළ ගිනිඅවි දෙකක් භාවිත කර ඇති බවටත් වෙඩි ප්‍රහාර 3ක් එල්ලකර ඇති බවටත් තොරතුරු අනාවරණය වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment