බොරලුකන්ද පුදබිමට තහංචි එපා – මහසඟරුවණේ විරෝධය මැද – අත්හිටුවීමේ නියෝගය හකුලා ගනී

673

මේක නරක පූර්වාදර්ශයක් – ආණ්ඩුකාර සෙන්දිල්
දිස්ත්‍රික් සංවර්ධන සභා රැස්වීමට කඩා වදිති

ත්‍රිකුණාමල නිලාවැලි පාරේ පිහිටි බොරලුකන්ද රජමහා විහාරයේ ඉදිකිරීම් අත්හිටුවන ලෙස ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත ප්‍රාදේශීය ලේකම්වරයා විසින් දෙන ලද නියෝගය හකුළා ගන්නා ලෙස ඉල්ලමින් ඊයේ (28දා) මහා සංඝරත්නය වීථි බැස සිදුකළ විරෝධතාව හමුවේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

භික්‍ෂූන් වහන්සේලා මහා මාර්ගයේ වාඩිවී විරෝධතා දක්වමින් පසුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්වරයා හමුවීමට වැඩම කළ අතර එහිදී දැඩි උද්වේගී තත්ත්වයක් හට ගැනුණි. උන්වහන්සේලාට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඇතුළුවීම වළක්වමින් ගේට්ටු වසා දැමීම නිසා භික්‍ෂූන් වහන්සේලා ත්‍රිකුණාමලය මහනුවර මාර්ගය අවහිර කරමින් විරෝධය දක්වන්නට වූහ.

බොරලුකන්ද පුදබිමට තහංචි එපා - මහසඟරුවණේ විරෝධය මැද - අත්හිටුවීමේ නියෝගය හකුලා ගනී

ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පසුව පිරිසකට ආරාධනා ලැබුණු අතර ඊට ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා සහ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම්වරයාද සම්බන්ධ කරගැනීමට කටයුතු කරන බව දිසාපතිවරුන් දැනුම් දුන්නේය. ඒ වනවිට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම පැවැත්වෙමින් තිබූ අතර ඊට ආණ්ඩුකාරවරයා සහ රාජ්‍ය නිලධාරීහු දේශපාලන සහ මහජන නියෝජිතයෝ එක්ව සිටියහ.

බොරලුකන්ද පුදබිමට තහංචි එපා - මහසඟරුවණේ විරෝධය මැද - අත්හිටුවීමේ නියෝගය හකුලා ගනී

ආණ්ඩුකාර සෙන්දිල්

එම රැස්වීම් ශාලාවට කඩාවැදී ත්‍රිකුණාමලයේ බෞද්ධයන් සංහිඳියාවට කිසිදු බාධාවක් සිදුකර නොමැති බවත් සෙසු ආගම් අදහන අයට තම පුදබිම් දියුණු කිරීමටදී ඇති නිදහස හා අයිතිය බෞද්ධයන්ට ලබානොදීම ගැන විරෝධය පළ කරමින් බොරලුකන්ද ඉපැරණි පුදබිමේ ඉදිකිරීම් අත්හිටුවීමට දුන් ලිඛිත නියෝගය හකුළා ගන්නා තුරු සභා ශාලාවෙන් ඉවතට නොයන බවත් පවසමින් මහා සංඝරත්නය එහි රැඳී සිටියහ.

ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරළ මහත්වරුන් ඇතුළු නියෝජිතයන් ගැටලුව සමථයකට පත් කිරීමට දැඩි වෙහෙසක් ගත් නමුත් අදාළ නියෝගය ලිඛිතව ලැබෙනතෙක් තමන් පිටව නොයන බව භික්‍ෂූන් වහන්සේලා ප්‍රකාශ කිරීම නිසා දිගු වේලාවකට පසු කලින් දී තිබූ ලිඛිත නියෝගය අවලංගු කිරීමට ආණ්ඩුකාරවරයා පියවර ගත්තේය. ඒ සමගම භික්‍ෂූන්වහන්සේලා ඉන් පිටතට වැඩම කළ අතර ඒ වනවිට රැස්වීමට සහභාගිවූ නිලධාරීහු ශාලාවෙන් ඉවතට ගොස් සිටියහ. විරෝධතාව හේතුවෙන් ඔවුනට එම භූමියෙන් පිටවීමටද නොහැකිවී තිබිණි.

ඉක්බිතිව මාධ්‍යවේදීන් ඇමතූ නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා ස්වාමීන් වහන්සේලා මෙවැනි ප්‍රශ්න සම්බන්ධයෙන් මීට වඩා ඉවසීමෙන් කටයුතු කළයුතු බවත් උන් වහන්සේලාගේ ක්‍රියාකලාප පූර්වාදර්ශයට ගනිමින් නැගෙනහිර පළාතේ සෙසු ආගම්වල අයත් ආවේගශීලීව ක්‍රියා කළහොත් ඇතිවිය හැකි තත්ත්වය ගැන සැලකිලිමත් වන ලෙසත් ඉල්ලා සිටියේය.

දමිළ දේශපාලනඥයන්ගේ බලපෑම් මත මේ පුදබිමට සිදුවන බාධා ගැන කොතෙකුත් කිව්වත් නිසි ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවූ බවත් ආගමික සංහිඳියාවට බාධා කරන ජාතිවාදී වැඩවලට ඉඩ නොදෙන ලෙසත් විරෝධතාවට එක්වූ විල්ගම් වෙහෙර විහාරාධිපති අංපිටියේ ශීලවංශ හිමියෝ ඉල්ලා සිටියහ.

ගෝකණ්න සුරැකීමේ සංවිධානය මගින් මෙම විරෝධතාව සංවිධානය කර තිබූ අතර එයට විහාරාධිපතීන් වහන්සේලා වන පොල්හේන්ගොඩ උපරතන, අලුත්වල සද්ධාතිස්ස යන හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය සහ ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.
චමින්ද සිල්වා, ත්‍රිකුණාමලය – සමන් මල්ලවආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment