මැණික් සහ ඛණිජ සම්පත් නිධි බහු ජාතික සමාගම්වලට විකිණීමේ ආණ්ඩුවේ තීරණයට එරෙහිව දේශ හිතෛෂීන් පෙරට පැමිණිය යුතුයි

110

මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක මහලකොටුවේ විමලධම්ම හිමි

බහු ජාතික සමාගම්වලට දේශීය සම්පත් විකුණා දැමීමට ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙළට එරෙහිව ජාතිමාමක දේශපාලනඥයින් ඉදිරිපත්විය යුතු බව මල්වතු පාර්ශවයේ මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක මහලකොටුවේ විමලධම්ම හිමියෝ (09දා) අනතුරු අඟවනු ලැබීය.

දේශීය මැණික් සහ ඛණිජ සම්පත් නිධි බහු ජාතික සමාගම්වලට ඩොලර් උපයා ගැනීමේ අරමුණින් විකුණා දැමීමට ගෙන ඇති කුමන්ත්‍රණය පරාජය කිරීමට මහා සංඝරත්නය දේශ හිතෛෂීන් පෙරමුණ ගතයුතු බව උන් වහන්සේ මාතලේ ලග්ගලදී පැවැති ලග්ගල කළුගඟ මැණික් ව්‍යාපාරික සංසදය හමුවේ අවධාරණය කළහ.

තවදුරටත් අදහස් දැක්වූ උන් වහන්සේ එදා සුද්දාට රට ලියා දීලා කර ගත් වැරද්දේ වන්දි අදත් අපේ මිනිස්සු විඳිනවා. දැන් දෙවැනි

වැරැද්දට ආණ්ඩුව පිඹුරුපත් සකස් කර තිබෙනවා. රටේ ඛණිජ සහ මැණික් නිධි ගැන ගවේෂණය කරලා ඒවා පිටරට්ටුන්ට විකුණන්න කැබිනට් අනුමැතිය අරගෙන. ඇයි අපේ මිනිස්සු මෙතරම් රට විකුණන්න වළිකන්නේ.

මෙම අවස්ථාවට සහභාගිවූ මැණික් ව්‍යාපාරිකයින් පතල් කර්මාන්තයේ නියැලී සිටින්නන් මෙරට මැණික් සහ ඛණිජ නිධි බහු ජාතික සමාගම්වලට විකුණා දැමීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය වහාම හකුලා ගන්නා ලෙස බල කර සිටියහ.

එක් රටක ස්වාභාවික සම්පත් එහි ජනතාවට මිස විදේශිකයින්ට නොවේ මැයෙන් ලග්ගල ලකේගල හෝටලයේදී පැවැත්වූ දැනුවත් කිරීමේ අවස්ථාවට මහා සංඝරත්නය, ලග්ගල මැණික් ව්‍යාපාරික සංසදය ලග්ගල පතල් කම්කරුවන්ගේ සංගමයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment