මහරගම වි.සේ.ස සමිතියේ අක්‍රමිකතා රැසක් – ගනුදෙනුකරුවන්ගේ කෝටි 110ක් වංචා කරලා

103

ග්‍රාමීය බැංකු 11 ක් සම්පූර්ණයෙන්ම වසා දමයි
මූලස්ථාන ගොඩනැගිල්ලත් උගස් තියයි

බස්නාහිර පළාත් සමුපකාර කොමසාරිස්, කොළඹ දිස්ත්‍රික් සහකාර කොමසාරිස්, අධ්‍යක්ෂ මණ්ඩලයක්, සාමාන්‍යාධිකාරීවරුන් හා නිලධාරි මණ්ඩලයක් සිටිය දී මහරගම විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ග්‍රාමීය බැංකු 11 ක් සම්පූර්ණයෙන්ම වසා දමා, සමුපකාර මූලස්ථාන ගොඩනැගිල්ල රුපියල් තුන් කෝටි තිස්පන් ලක්ෂයකට බැංකුවට උකස් කර, ගනුදෙනුකරුවන් 33,000 කගේ රුපියල් කෝටි 110 ක් වංචාකර තමන්ට ආපසු ලබාගත නොහැකිව අන්ත අසරණ තත්ත්වයට පත් ඇතැයි බව ගනුදෙනුකරුවෝ ප්‍රකාශ කරති.

මහරගම විවිධ සේවා සේවා සමුපකාර සමිතියට අනුබද්ධ ග්‍රාමීය බැංකු මගින් අසාධාරණයට ලක් වූවන් සුරැකීමේ සංවිධානය මගින් මහරගම විහාරස්ථානයක ඉකුත් 1 වැනිදා පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය විය.

මෙහිදී අදහස් දැක්වූ මෙම සමුපකාර සංගමයට අයත් ග්‍රාමීය බැංකුවක මුදල් තැන්පත් කොට අසාධාරණයට ලක්වූ ජී. කේ. ප්‍රේමකාන්ති මහත්මිය හඬා වැටෙමින් ප්‍රකාශ කළේ මගේ අහිංසක පුතා රට ගිහින් දුක් මහන්සි වෙලා අවුරුදු දාහතක් තිස්සේ ඉතුරු කරපු සල්ලි ගන්න බැංකුවට ගියා, මට සල්ලි දුන්නෙ නෑ. බොරු කිව්වා, හෘද රෝගියෙක් මම ඇතුළු දරු පවුල අන්ත අසරණ තත්ත්වයට පත්ව මහ පාරට වැටීලා.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජී. කේ. ප්‍රේමකාන්ති මහත්මිය මෙසේද කීවාය.

මගේ පුතා රට ගියේ 2000 වසරේ. 2006 ඉඳන් 2022 දක්වා එවපු සල්ලි බැංකුවේ දැම්මා. කාලයක ඉඳන් තිබුණු බැංකුව නිසා විශ්වාස කරලා තමයි අපි සල්ලි දැම්මෙ. ඒ කාලය තුළ පොලිය හෝ මුදල් කිසිවක් ගත්තේ නෑ.

මීට මාස හයකට විතර කලින් පුතාගේ ගේ හදාගන්න ඕනි නිසා රුපියල් ලක්ෂ 75 ඉල්ලුව. එන්න කියලා බැංකුවට ගියහම මේ දිනවල දෙන්න සල්ලි නෑ කිව්වා. කීප සැරයක් ඉල්ලුවා. සල්ලි ලැබුණේ නැහැ. අන්තිමට කිව්වෙ බැංකුවේ දේපළ විකුණලා දෙන්නම් එතකන් ඉන්න කියලා.

අපි හිතුවේ මේක බැංකුවක් කියලා. සල්ලි ඉල්ලුවාම පස්සේ දෙන සිරිතක් නෑනේ බැංකුවල. මේ ප්‍රශ්නෙන් අපි ගොඩක් අසරණ වෙලා ඉන්නේ. ඉන්න හිටින්න තැනක් හදාගන්න හිතාගෙන සල්ලි එකතු කළා. අවුරුදු දාහතක් ඉතුරු කරපු සල්ලි සත පහක් ගන්න බැරුව අපි අද වෙනකොට අන්ත අසරණ වෙලා. දැන් අපි මහ පාරට වැටෙන්න යන්නේ. අපිට

කරකියාගන්න දෙයක් නෑ. මම හදවත් හෘද සැත්කමක් කරපු කෙනෙක්. මේ ප්‍රශ්න ගැන හිතලා මගේ ජීවිතයට මොනවා වෙයිද දන්නේ නෑ. අපි ඉල්ලන්නේ මගේ දරුවා රට ගිහින් දුක්විඳලා හරි හම්බ හරි හම්බ කරපු සල්ලි කොහොම හරි අපේ සල්ලි ටික දෙන්න කියල. (සංවේදී වෙයි)

මහරගම විවිධ සේවා සමුපකාර සමිතියට අනුබද්ධ ග්‍රාමීය බැංකු මගින් අසාධාරණයට ලක් වූවන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු දේවානන්ද සුරවීර මහතා.

මහරගම ග්‍රාමීය බැංකු එකොළහක් තියෙනවා. එහි තැන්පත්කරුවෝ 33,000 ඉන්නවා, එහි මුළු තැන්පතු මුදල කෝටි 105, ඉන් කෝටි 25 ණය දීල තියෙන්නෙ. ඒ ණය මුදලින් කෝටි 17 ණය කාල සීමාව ඉකුත් වෙලා. නමුත් ණය පැහැර හැරපු ණය කරුවන්ගේ ෆයිල් ටික කාර්යාලෙ තියාගෙන ඉන්නව එක ණය කරුවෙකුටවත් නඩු දාල නෑ. ඒකට හේතුව තමයි මේ ණය දීලා තියෙන්නේ නිලධාරීන්ගේ හිතවතුන්ට නිසා.

ඊට අමතරව ඉතිරි තැම්පතු රුපියල් කෝටි 80 අධික මුදලින් සත පහක් වත් බැංකුවල නෑ. ඒකෙන් පේන්නෙ මේ මුදල් වංචාව සැලසුම් සහගතව කරපු අපරාධයක් ලෙසයි.

මේ සමග විවිධ සේවා සමුපාකාර සමිතියේ මූලස්ථාන ගොඩනැගිල්ලත් උකස් කරලා 3,35,000,00 (තුන් කෝටි තිස් පන් ලක්ෂය) මුදලක් ණය අරන්. මාදිවෙල ඉඩමකුත් උකස් කරල. කෝටි 7ක ස්ථාවර තැන්පතුව ඇපයට තියල තවත් රුපියල් 7,98,000,00 (හත් කෝටි අනූ අට ලක්ෂක්) ණය අරන්. මේ සල්ලිවලට මොනවා කලා ද කියලා හිතාගන්න බෑ.

මේ බැංකු 11 තැන්පත්කරුවෝ 33,000ක් ඉන්නවා. ඒ අතරින් 2783 දෙනකු ණය අරන් තියෙනවා. ඉන් 2420 ණය පැහැර හැරලා. ණය ගෙවන්නේ සාමාජිකයන් 360 දෙනකු පමණයි. මේකයි තත්ත්වෙ. මෙවන් තත්ත්වයක් මත අපිට ඇස් කන් පියාගෙන ඉන්න බෑ. මේ අපරාධයට කණ්ඩායම් දෙකක් වගකියන්න ඕනි. අවුරුදු 18 පාලනය කරපු හේමසිරි ප්‍රේමලාල්ගෙ කණ්ඩායම සහ නිශාන්ත කොස්තාගේ කණ්ඩායම, හේමසිරි ප්‍රේමලාල් කියන්නෙ මේ සමිතිය අවුරුදු දහ අටක් පාලනය කරපු සභාපති. ඒවගේම බස්නාහිර පළාත් සමුපකාර කොමසාරිස් මේකට සෘජුවම වගකියන්න ඕනි. ඔහු ඉකුත් පෙබරවාරි 21 දා පැවති සාකච්ඡාවකදී පිළිගත්ත මේ බැංකු හරහා රුපියල් කෝටි දෙසීයක් අවභාවිතා වෙලා තියෙනවා කියලා. ඒ නිසා තැන්පතු ආපසු ගෙවීමට හැකියාවක් නැහැ කියලත් ඔහු කිව්වා.

දැන් මේ නිදැල්ලෙ ඉන්න අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න.
පින්සිරි ආරියරත්න – රත්මලාන

advertistmentadvertistment
advertistmentadvertistment