මා නිධානය සොයා ගත් හැටි – ජී. බී. සේනානායකයන් එදා හෙළි කළ හැටි

414

ගාමිණී – මාලිනි ‘නිධානය’ රූපරාමුවක

නිධානය එවැන්නක් නොව, මා මුලින් කී පරිදි සිතෙහි ගැඹුර හාරා බලන්නකි. අපේ සිත්වල අඳුරෙහි පවතින හැඟීම් චිත්ත බලවේග අපි සාමාන්‍යයෙන් නොදනිමු.
එවැනි දෑ අපට දැනගත හැකි වන්නේ අපේ පරිසරය අපට නුපුරුදු ලෙස වෙනස් වන විටය. අප බොහෝ විට අපේ නුපුරුදු හැසිරීමෙන් පුදුම වෙමු. නුපුරුදු හැසිරීමට හේතු වන්නේ නුපුරුදු පරිසරයයි. මා පරිසරය යැයි මෙහි කියන්නේ ගස-කොළ, ගෙවල්-දොරවල්, වටාපිටාව ආදිය නොව අප කෝප කරවන, පින වන, තත්ත්වවලටය. සාමාන්‍යයෙන් බොහෝ සෙයින් සිනා නොසෙන්නෙක් ඇතැම් විට මහත් සේ සිනාසෙයි. ඊට හේතුව සිනා නොවීමට ඔහු තුළ ඇති මැළිකම කිසියම් පරිසරයක් විසින් බිඳ දැමීමය. මෙසේ සිනා සෙන්නා තමාගේ සිනාවෙන් පුදුම වේ. සිනාසෙන්නට පමණක් නොව භයානක අපරාධ කරන්නට මෙසේ මිනිස්සු පෙලෙඹෙති.
යටකී බිරිඳ මැරූ පුද්ගලයා එසේ පෙලෙඹුණෙකි. අපේ සිත් රැකගන්නට අප නපුරට මෙහෙයවන තත්ත්වයන්හි දී දැඩි ලෙස සුචරිතයෙහි එල්බෙන්නට මේ කතාව අපට උගන්වතැයි සිතමි.

මා නිධානය සොයා ගත් හැටි - ජී. බී. සේනානායකයන් එදා හෙළි කළ හැටි

සිංහල සාහිත්‍යයේ නව මංපෙත් විවර කළ අග්‍රගණ්‍ය සාහිත්‍යකරුවකු වූ ජී. බී. සේනානායකයන් ලියූ සුප්‍රකට නිධානය කෙටිකතාව ඇතුළත් වූයේ 1946 දී ඔහු ලියූ ‘පළිගැනීම’ කෙටිකතා සංග්‍රහයෙනි. මිනිස් මනසේ අඳුරු පැතිකඩ ගවේෂණය කර ඔහු පොත් රාශියක්ම හෙළ සාහිත්‍යයට මුසු කළේය. අග්‍රගණ්‍ය සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් එදා සිනමාවටද නැඟූ ‘නිධානය’ට පාදක වූයේ ද එම කෙටිකතාවයි. මහා රංගධර ගාමිණී ෆොන්සේකා, කෘතහස්ථ රංගවේදිනි මාලිනි ෆොන්සේකා එම චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑ අතර ගාමිණී ගේ විශිෂ්ටතම රංගන පෙළහර අතර එහි ඔහු නිරූපණය කළ විලී අබේනායක චරිතය ද අමරණීය වී තිබේ. මේ ඔහු ‘නිධානය’ ලියූ ජී. බී. සේනානායක ඊට පාදක වූ කතාව විස්තර කළ අන්දමයි.

නිධානය නමැති කෙටිකතාව ප්‍රධාන වශයෙන්ම මිනිසුන්ගේ සිත්වල පතුල අවුස්සා බැලීමකි. එමෙන්ම මනෝවිද්‍යාව පැත්තෙන් මෙන්ම සමාජය පිළිබඳ පැත්තෙන් ද මෙහි අගයක් ඇති කිරීමට මම උත්සාහ කළෙමි. තම බිරිඳ මැරූ පුද්ගලයා සමාජයේ හමුවන බොහෝ දෙනාගෙන් සාමාන්‍යයෙන් වෙනස් වන්නෙක් නොවේ.

මා නිධානය සොයා ගත් හැටි - ජී. බී. සේනානායකයන් එදා හෙළි කළ හැටි

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්

‘මිනිසුන්ගේ හැසිරීම ගඟක් වැන්නැ”යි ලියෝ ටෝල්ස් ටෝයි නමැති රුසියන් ලේඛකයා කීවේය. ගඟක් ඇතැම් තැනකදී එහි පරිසරයට අනුව සීඝ්‍රයෙන් ගලා බසී. ඇතැම් තැනකදී ඒ කරුණම නිසා සෙමින් ගලා බසින්නේය. කිසි තැනක දී එහි දිය අපිරිසිදුවේ. තවත් තැනකදී පිරිසිදු වන්නේය. අපට පුද්ගලයන්, කෲරතරයන්, මසුරන්, ත්‍යාගශීලීන්, කාරුණිකයන් වශයෙන් බෙදිය නොහැකි යැයි ටෝල්ස් ටෝයි කියයි. ඔහු මෙසේ කියන්නේ මෙවැනි නම්වලින් හැඳින්විය හැකි පුද්ගලයන් නැති නිසා නොවේ. කාරුණිකයන් ද ඇතැම් විට කෲරතරයන් වශයෙන් ක්‍රියා කරන හෙයිනි. මසුරන් ද කිසිවිටෙක ත්‍යාගශීලීන් වන නිසාය.

බිරිඳ මැරූ මෙම පුද්ගලයා ක්‍රමයෙන් වෙනස් වූ හැටි අපි සලකා බලමු. මුලදී ඔහු මුහුණෙහි උපන් ලකුණු ඇති ගැහැනියක සෙවූයේ ඈ මරා ඈ බිල ිදී එක් තැනක ඇති නිධානයක් ගන්නා අදහසිනි. ඔහු තුළ එවැනි අදහසක් ඇති කළේ මහත් සේ මුදල් වුවමනා වීම නිසාය.

තරුණිය හා විවාහ වූ පසු මුදලට ඇති ආශාව ඈ කෙරෙහි ඇතිවූ ප්‍රේමයෙන් මැඬලී ගියේය. ඇය මරන්නට ඔහු තවත් නොසිතීය. ඔහු, ඈ හා ප්‍රේමයෙන් බැඳී අඹු සැමියන් වශයෙන් විසුවේය. ගඟ ගලා බසින පරිසරය වෙනස් වන්නාක් මෙන් ඔහුගේ ජීවන පරිසරය ද වෙනස් විය. ඔහුගේ වෙළෙඳ කටයුතු පාඩු වී ඔහුට මුදල් වුවමනා වන බැරෑරුම් තත්ත්වයක් ඇතිවිය. මේ වෙනස්වීම සමඟ ඔහුගේ සිත ද වෙනස්වූයේය. සාහසික ක්‍රියාවකට පෙලෙඹෙන චිත්ත තත්ත්වයක් ඔහු තුළ ඇති විය. දිනක් රෑ බිරිඳ නිදා සිටිදී ඔහු සඳ එළියෙන් ඇගේ මුහුණෙහි උපන් ලප දුටුවේ ඒ අවස්ථාවේදීය.

ඒ දැකීම යට වී තිබුණු අදහසක් මතු කළේය. එය නම් ඈ බිලි දී නිධානය ගැනීමේ අදහසය. මුදල් පිළිබඳ දුෂ්කරතාවයෙන් ද ඒ නිසා ඇතිවිය හැකි නින්දා අපහාස, දුක් හිරිහැර ආදියෙන් ද ඈ බිලිදීමේ සිත පෝෂණය වූයේය. ඈ කෙරෙහි වූ ප්‍රේමය යටපත් විය. ඔහු ඈ නිශ්ඵල ලෙස මරා නිධානයක් ගන්න වෑයම් කළේ ඊට පසුවය. ඒ වෑයම නිශ්ඵල වීමෙන් පසු ඔහුගේ සිත යළිත් වෙනස් විය. ඊට හේතුව නිධානය ගත නොහැකිවීම ම නොවේ. මුදල් සොහාගත නොහැකිවීමෙන් ඇති විය හැකි කම්කටොලු ගැන සිතීමෙන් ද නොවේ. මෙවැනි භයානක අපරාධයක් කොට එය නොසලකා අමතක කළ හැක්කේ ඉතාම අධමයකුට පමණි. ඔහු එවැන්නෙක් නොවීය. මිනී මැරීමක් වැනි අපරාධයක් කළ එකකු තුළ ඇතිවන සංවේගය හා පසුතැවිල්ල ද ඔහු තුළ පහළ විය. යටපත්ව තිබූ බිරිඳ පිළිබඳ ප්‍රේමය මහත් සේ නැඟිණි. ඔහු සිය දිවි හානි කොට ගත්තේ මේ හැඟීම ඉවසිය නොහැකි වූ නිසාය.

‘මා මෙහි දැක්වූයේ කතාවේ ගැබ්වන පරමාර්ථය යි. පුද්ගලයන් හා සිදුවීම් උපයෝගි කොටගෙන මේ අදහස්වලට පණ දෙන්නට මම වෑයම් කළෙමි. මෙය මනෝවිද්‍යාත්මක පැත්තෙන් අගයක් ඇත්තක් කරන්ට මා වෑයම් කළ බව මේ විග්‍රයයෙන් හෙළිවේ.

ඇතැමුන් මුළු ජීවිතයම සලකන්නේ සමාජයේ පෙත්තෙන් පෙත්තට ඉහළ යන්ට කරන අරගලයක් ලෙසිනි. නැත්නම් තමන්ට තිබෙන ඉහළ තත්ත්වය රැක ගන්නට කරන වෑයමක් ලෙසිනි. මේ ඉහළ තත්ත්වය නැතිකරන දුෂ්කරතා ඇතිවූ විට එමගින් ගැලවෙන්නට ඇතැම්හු අපරාධ කරන්නට මැළි නොවෙති. මේ මැළි නොවීම ඔවුන්ගේ චරිතයෙහි සැටියට අඩු වැඩි වෙයි. මේ පුද්ගලයා ගැහැනියක මරා වස්තුව සොයන්නට සිතුවේ සමාජයේ තමාගේ ඉහළ තත්ත්වය රැකගන්නටය. සමාජයේ ඉහළ පන්ති නිතරම පෙරළෙයි. දුප්පත්තු පොහොසත් වෙති. පොහොසත්තු දුප්පත් වන්නාහ. මේ මිනීමරුවා පොහොසත්ව සිටි දුප්පත්වීමේ ඉරණමට මුහුණ පෑවෙකි. ඔහුගේ ගතිගුණවලට අනුව ඔහුට එවැනි අපරාධයක් කළ හැකි විය. මේ කතාව පුද්ගලයාත් සමාජයත් අතර ගැටීම කියා පායි. මා මේ කරුණ කිවේ සමාජය පැත්තෙන් කතාව දෙස බැලීමෙනි. කතාව ප්‍රධාන වශයෙන් සිත හා සමාජය පිළිබඳ කරුණුවලින් ගෙතී ඇති බව මෙයින් කතාව පරීක්‍ෂා කරන්නකුට පෙනී යනු ඇත.

මා නොයෙක් විදියේ කෙටි කතාවන් ලියූවකු බව මගේ පොත් කියැවූවෝ දනිති. මගේ සියලුම කතාවල පාහේ මිනිස් සිත පිළිබඳ මහත් සැලකිල්ලක් දක්වා තිබේ. මිනිස් සිත් දෙස මම නොයෙක් අයුරින් බලමි. මගේ ඇතැම් කතා එදිනෙදා ජීවිතයෙහි අපේ සිත්වල ඇතිවන සිතිවිලි කියා පායි.

නිධානය එවැන්නක් නොව, මා මුලින් කී පරිදි සිතෙහි ගැඹුර හාරා බලන්නකි. අපේ සිත්වල අඳුරෙහි පවතින හැඟීම් චිත්ත බලවේග අපි සාමාන්‍යයෙන් නොදනිමු. එවැනි දෑ අපට දැනගත හැකි වන්නේ අපේ පරිසරය අපට නුපුරුදු ලෙස වෙනස් වන විටය. අප බොහෝ විට අපේ නුපුරුදු හැසිරීමෙන් පුදුම වෙමු. නුපුරුදු හැසිරීමට හේතු වන්නේ නුපුරුදු පරිසරයයයි. මා පරිසරය යැයි මෙහි කියන්නේ ගස – කොළ, ගෙවල් – දොරවල්, වටාපිටාව ආදිය නොව අප කෝප කරවන, පින වන, තත්ත්වවලටය. සාමාන්‍යයෙන් බොහෝ සෙයින් සිනා නොසෙන්නෙක් ඇතැම් විට මහත් සේ සිනාසෙයි. ඊට හේතුව සිනා නොවීමට ඔහු තුළ ඇති මැළිකම කිසියම් පරිසරයක් විසින් බිඳ දැමීමය. මෙසේ සිනා සෙන්නා තමාගේ සිනාවෙන් පුදුම වේ. සිනාසෙන්නට පමණක් නොව භයානක අපරාධ කරන්නට මෙසේ මිනිස්සු පෙලෙඹෙති. යටකී බිරිඳ මැරූ පුද්ගලයා එසේ පෙලෙඹුණෙකි. අපේ සිත් රැකගන්නට අප නපුරට මෙහෙයවන තත්ත්වයන්හි දී දැඩි ලෙස සුචරිතයෙහි එල්බෙන්නට මේ කතාව අපට උගන්වතැයි සිතමි.

මේ කතාව කියවන්නා තුළ මැරුම් කෑ තරුණ ගැහැනිය කෙරෙහි මහත් අනුකම්පාවක් උපදියි. එය ස්වාභාවිකය. මිනීමරුවා කෙරෙහි ද පාඨකයා තුළ අවසානයෙහි දී අනුකම්පාවක් උපදිතියි සිතමි. මා එසේ කියන්නේ පාඨකයා ඔහු කළ අපරාධය අනුමත කරන නිසා නොවේ. අනුමත නොකරන නිසාය. හැඟීම් බලවත්ව නැඟුණුවිට ඒවා මැඬලන්නට මහත් වෑයමක් කළ යුතු බව අපි සියල්ලෝම දනිමු. ඒ වෑයම කරන්නට මේ මිනීමරුවා තුළ සෑහෙන තරම් ශක්තියක් නොතිබුණි. ඔහු දුර්වලයෙකි. ඔහු ඊට පෙළඹ වූ සමාජය නොසලකා හරින්නට තරම් දැඩි ගතියක් ඔහු තුළ නොතිබිණි.

අප අපේ ජීවිතයෙහි මඟ පෙන්වන්නා වශයෙන් සැලකිය යුත්තේ තර්ක ඥානයයි. මේ මිනීමැරූ තැනැත්තා තර්ක ඥානය පැත්තකට කොට මිථ්‍යා විශ්වාස අල්වා ගත්තෙකි. ඔහු එසේ නොකළේ නම් ගැහැනුන් බිලි දී මරා නිධානය ගත නොහැකි බව ඔහුට අවබෝධ වනු නැසැකය.

සකස් කළේ: නාරද

advertistmentadvertistment
advertistmentadvertistment