මීවනපලානේ සිරි ධම්මාලංකාර නමැති චීවරධාරියා සිදු කරන ශාසන විනාශයට වහා නීතිය ක්‍රියාත්මක කරන්න – මහ නාහිමිවරු ජනපතිගෙන් ඉල්ලති

473

සාමණේර භික්ෂු ලියාපදිංචිය ද අවලංගු කොට නිකායෙන් නෙරපා හැර ඇති මීවනපලානේ සිරිධම්මලංකාර නමැති භික්ෂු ප්‍රතිරූපකයා පිළිබඳව අවස්ථා රැසකදී ජනාධිපතිතුමන් ඇතුළු වගකිව යුතු අංශ දැනුවත් කර තිබියදී තවදුරටත් ඔහුට බුදු දහම සහ බුද්ධ චරිතය විකෘති කරමින් ථෙරවාදී පාලි ත්‍රිපිටකය පිළිබඳව සාවද්‍ය හා අපහාසාත්මක මතවාද ජනගත කරමින් කටයුතු කිරීමට ඉඩ ප්‍රස්ථාව ලැබීම විමතියට කරුණක් බව ත්‍රෛනිකායක මහානායක හිමිවරු ප්‍රකාශ කරති.

මොහු තවදුරටත් භික්ෂුවක් ලෙස පෙනී සිටීම හේතුවෙන් නීති විරෝධී ක්‍රියාවකට වරදකරු වන බව විහාර දේවාලගම් ආඥා පනතේ 42 වගන්තිය අනුව ද පැහැදිලි වන බව උන්වහන්සේ පෙන්වා දෙති.

මීවනපලානේ සිරි ධම්මාලංකාර නම් භික්ෂු ප්‍රතිරූපකයා විසින් සිදු කරන ශාසන විනාශය හා නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස දන්වමින් ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කර ඇත.

ජනපතිවරයාට අමතරව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යවරයාටද නීතිපතිවරයාට හා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට ද ලිපියේ පිටපත් යොමුකර තිබේ.

මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල යන මහනාහිමිවරුන්ගේ අත්සනින් යොමුකළ ලිපියේ මෙසේද සඳහන් වෙයි.

පන්සල්හේනේ ධම්මාලංකාර හා පන්සල්හේනේ ධම්මික යන අනන්‍යතාවන්ගෙන් පෙනී සිටිමින් චෞර භාවයෙන් භික්ෂු වේෂධාරීව චීවරය අවභාවිත කරමින් කටයුතු කරන සිරිසේන සපුතන්ත්‍රී නම් මෙම පුද්ගලයා භික්ෂුවකට හිමි සමාජ ගෞරවය හා ප්‍රත්‍ය පහසුකම් වංචනිකව පරිභෝග කරමින් රාජ්‍ය නිලධාරීන් ඇතුළු ගිහි-පැවිදි පිරිස් නොමග යවමින් බෞද්ධ සමාජය තුළ ගැටුම් නිර්මාණය කරමින් ලාංකේය භූ දේශපාලන ව්‍යුහය පිළිබඳව ද සාවද්‍ය මතවාද ජනගත කරමින් සම්බුද්ධ ශාසනය විනාශ කිරීමේ මෙන්ම රාජ්‍ය අස්ථාවර කිරීමේ දීර්ඝකාලීන කුමන්ත්‍රණයක නිරතව සිටී. සම්බුදු චරිතය පිළිබඳවත් පාලි ත්‍රිපිටකය පිළිබඳවත් මොහු විසින් ඉදිරිපත් කරනු ලබන මිථ්‍යා මතවාදයන් හා එහි සමාජ බලපෑම සම්පිණ්ඩනය කළ හැකිය.

ඒ අනුව සම්බුදු චරිතය පිළිබඳ භාරතයේ පවතින ස්ථාන නාමයන් සාවද්‍ය හා ආශාස්ත්‍රීය ලෙස ලංකාවේ ප්‍රසිද්ධ සිද්ධස්ථාන ලෙස අරුත් ගන්වමින් බෞද්ධ ජනයා නොමග යැවීම හා බෞද්ධ සමාජය තුළ සමගියට බාධා පමුණුවමින් බෞද්ධයන් අතර ගැටුම් නිර්මාණය කිරීම, ධර්ම දේශනා කිරීමේ මුවාවෙන් බුදු දහමේ මූලික ඉගැන්වීම් පිළිබඳ විකෘති අර්ථකථන සිදු කිරීම, ශ්‍රී ලාංකේය ශාසන භාරධාරී මහ තෙරවරුන් විසින් ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කොට ජාතික උරුමයක් ලෙස නම් කොට ඇති ශ්‍රී ලංකා ජනරජය මගින් 2500 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කොට ප්‍රකාශයට පත් කරන්නට යෙදුණු බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව නිවැරදි ත්‍රිපිටකය නොවන බවත් නිවැරදි ත්‍රිපිටකය තමන් එංගලන්තයෙන් ගෙනා බවත් පවසමින් බෞද්ධ ලෝකය වංචනික ලෙස නොමග යැවීම, තමන් සිවු පිළිසිඹියා පත් අරහතන් වහන්සේ නමක් ලෙස ප්‍රකාශ කරමින් මහජනතාව නොමග යවමින් නොයෙක් වරදාන වරප්‍රසාද භුක්ති විඳිමින් ශ්‍රී සම්බුද්ධ දේශනාවන්ගේ උතුම් දාර්ශනික හර පද්ධතීන් විනාශ කිරීම හා අරහත් සංකල්පය සමාජය තුළ හාස්‍යයට හා උපහාසයට ලක් කිරීම, සිදුහත් කුමාරොත්පත්තියෙන් අනතුරුව මහාමයා දේවිය ලිංග විපර්යාසකට ලක් වූ බව වැනි විකෘති මත ප්‍රකාශ ඉදිරිපත් කරමින් බුද්ධ චරිතය අවමානයට පත් කිරීම, යුනෙස්කෝ ලෝක උරුම ලෙස ප්‍රකාශයට පත් කොට ඇති ලුම්බිනිය, බුද්ධගයාව, බරණැස වැනි ස්ථාන පිළිබඳ මෙන්ම ලංකා ද්වීපය තුළ පිහිටි ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි මහාසෑය වැනි ලෝක බෞද්ධයන්ගේ වන්දනීය ස්ථානයන්ගේ පිහිටීම පිළිබඳ සාවද්‍ය අර්ථ විවරණ සපයමින් බෞද්ධ ලෝකය තුළ ථෙරවාදී ධර්ම කොෂ්ටාගාරය ලෙස ලංකාව පිළිබඳ පවතින විශ්වාසය පළුදු කිරීම හා ලක්දිව පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳ සාවද්‍ය මතවාද ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිළිබඳ සමාජය තුළ වෛරයක් ගොඩනැගීම, බෞද්ධ සම්මතයන් හා චාරිත්‍රයන් විවේචනය කරමින් සංඝ සමාජයේ පරිපාලන ව්‍යුහය පිළිබඳ අපහාසාත්මක හා සමාජය නොමග යවන ප්‍රචාර සිදු කරමින් භික්ෂුව හා මහජනතාව අතර විරසක භාවයක් නිර්මාණය කිරීම සිදුවේ.

මේ වන විට ස්ත්‍රී දූෂණ චෝදනා ඇතුළු සාපරාධී අපරාධ ගණනාවක් පිළිබඳ චෝදනා ලැබ ඇති මෙම තැනැත්තා සිරිසේන හපුතන්ත්‍රී යන අනන්‍යතාව භාවිත කරමින් රජයේ විශ්‍රාම වැටුප ද ලබා ගනිමින් විවිධ නාමයන්ගෙන් පෙනී සිටිමින් චේතනාන්විතව මහජනතාව රැවටීමේ කුමන්ත්‍රණයක නිරතව සිටින බවත් බුද්ධ ශාසනය විනාශ කිරීමේ පටු පරමාර්ථයෙන් කටයුතු කරන සංවිධානාත්මක කණ්ඩායම් මෙම තැනැත්තා විසින් සිදුකරනු ලබන ධර්ම විකෘතින්ට අනුග්‍රහ දක්වමින් දැවැන්ත මුදල් සම්භාරයක් මොහු වෙත ලබා දෙන බවටත් කරුණු හෙළි වෙමින් පවතී. තවද පරම නිබ්බාන නමින් ආයතනයක් පිහිටුවා ගෙන සාවද්‍ය විකෘති ධර්ම කරුණු ප්‍රචාරය කරමින් එම ස්ථානයට පැමිණෙන උපසාක උපාසිකාවන් නොමග යවමින් මුදල් ලබාගෙන පෞද්ගලික දේපළ මිලදී ගෙන සිය දරුවන්ට ලබා දීම පිළිබඳට ද මේ වන විට කරුණු අනාවරණය වී ඇත.

මෙම ශාසන විනාශකාරී ක්‍රියා පිළිවෙත හුදු සිදුවීමක් ලෙස ලඝු කොට සැලකීමට මහා සංඝරත්නය ලෙස අපි තවදුරටත් සූදානම් නොවන බව මෙයින් බරපතළ ලෙස අවධාරණය කර සිටිමු.


සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment