මුහුද සමාගම්වලට: ධීවරයන්ට හුළං යෝජිත ධීවර පනත හූනියමක් – පුබුදු ජයගොඩ

73

යෝජිත නව ධීවර පනත හූනියමක් බවත් ඉන් සිදුවන්නේ ධීවරයා මුහුදෙන් ඉවත් කිරීම බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ (29දා) පැවසීය.

නුගේගොඩ එම පක්ෂ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.

ජයගොඩ මහතා මෙසේද කීවේය.

මුහුද විදේශ සමාගම්වලට බදු දෙන්න මේ පනතෙන් ඉඩකඩ හදලා තියෙනවා පමණක් නෙවෙයි ලංකාවේ ධීවරයන්ට එම මුහුදු ප්‍රදේශවලට ඇතුළු වීම ද තහනම් කරලා තිබෙනවා. එසේ ශ්‍රී ලාංකීය ධීවරයන් ඇතුළුවූවොත් ඔවුන්ට ලොකු ලොකු දඩ පැනවෙනවා. ලංකාවේ දැනට ක්‍රියාත්මක ධීවර පනත ක්‍රියාත්මක වන්නේ මුහුද අයිති ජනතාවටයි කියන පදනම මත ඉඳන්. නමුත් නව යෝජිත පනතට අනුව මුහුද අයිති රජයටයි. රජය ඒ මුහුද කොටස් කොටස්වලට කඩලා ඒකෙන් බිස්නස් කරනවා. දැන් හදන්නේ තායිලන්ත, මැලේසියා, සිංගප්පූරු හා චීන සමාගම්වලට මුහුද බදු දෙන්නයි. මේ පනතෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලපත්‍ර නිකුත් කිරීමේ බලය දීලා තියෙනවා. මින් පෙර ලියාපදිංචි කළේ බෝට්ටුව පමණයි. නමුත් නව බලපත්‍ර ක්‍රමය යටතේ සෑම ධීවරයෙකුට මෙතරම් ප්‍රමාණයක් මසුන් ඇල්ලිය යුතුයි කියලා කෝටා එකක් නිශ්චිතවම කියනවා. මේවා කරන්නේ සාමාන්‍ය ධීවරයා මුහුදෙන් ඉවත් කරලා සමාගම්වලට මුහුද දෙන්නයි.
අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment