වලේබොඩ ගුණසිරි නාහිමි අනුනායක අක්තපත්‍ර ප්‍රදානෝත්සවය 14දා

173

ශ්‍රී ජයවර්ධනපුර, පැලවත්ත, බත්තරමුල්ල මයුරපාද පිරිවෙන් මහාවිහාරය සහ මාලඹේ ඉසුරුපුර ශ්‍රී විමලාරාමය යන උභය මහා විහාරාධිපති ආචාර්ය වලේබොඩ ගුණසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ශ්‍රී සුගත ශාසනවංශාලංකාර කවිධජ, විමලවංශ වංශාවතංස, ධර්මකීර්ති ශ්‍රී සද්ධර්ම ශූරියන ගෞරව නාමය සහිතව අනුනායක පදවිය පිරිනමා ඇත.

ඒ පිළිබඳව අක්තපත්‍රය පිළිගැන්වීමේ මහොත්සවය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත මකුලෑවේ ශ්‍රී විමල මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු දෙස් විදෙස් සම්භාවනීය ආරාධිතයින්ගේ සහභාගිත්වයෙන් මැයි මස 14 වන ඉරු දින පස්වරු 2.30 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

1954 වර්ෂයේ පෙබරවාරි මස 28 වන දින උන්වහන්සේ උපත ලැබූයේ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ වලේබොඩ ග්‍රාමයේදීය. 1964 වර්ෂයේ දෙසැම්බර් මස 20 වන දින පැවිදි දිවියට පත්වූහ.

ගිහි නම වූයේ කෝරළකන්ද විදානලාගේ ගුණපාලය. කෝරළකන්ද විදානලාගේ මොහොට්‍ටි හාමි උපාසක මහතා හා එන්සොහාමි උපාසිකාව දෙමාපියෝ වූහ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායික රාජකීය පණ්ඩිත බද්දේගම විමලවංශ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පැවිදි ආචාර්යවරයා වූහ.

වලේබොඩ ලන්දවත්ත විද්‍යාලය තලංගම මයුර පාද කනිෂ්ඨ පිරිවෙන හා ශ්‍රී ලංකා පිරිවෙන පාදක කොට උන්වහන්සේ මුලික අධ්‍යාපනය ලැබූහ.

1978 වර්ෂයේ දී ශාස්ත්‍රවේදී උපාධිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ද ශාස්ත්‍රපති උපාධිය 1995 වර්ෂයේ දී කැලණිය විශ්ව විද්‍යාලයෙන් ද 2006 වසරේදී ආචාර්ය උපාධිය ජාත්‍යන්තර විවෘත විශ්ව විද්‍යාලයෙන් ද උන්වහන්සේ දිනා ගත්හ. 1980 වසරේදී මරදානේ ශ්‍රී ලංකා විද්‍යාල මහ පිරිවෙනට සිය ප්‍රථම ගුරු පත්වීම ලත් අනුනාහිමිපාණෝ අනතුරුව 2000 සිට 2011 දක්වා එහි පරිවේනාධිපතිව වැඩ විසූහ. දකුණු තලංගම පැලවත්ත මයුරපාද පිරිවෙන් මහා විහාරස්ථානයේ විහාරාධිපතිවැ උන්වහන්සේ අදටත් ශාසනික හා සමාජයීය කටයුතුවල සක්‍රීයව නියුක්තව සිටිති.

විවිධ ක්ෂේත්‍ර ස්පර්ශ කරමින් නිස්සරණධ්‍යාසයෙන් ගිහි පැවිදි කවරෙකුට වුවද ආදර්ශවත් ගති ලක්ෂණවලින් පෝෂිත වැ අප අනුනාහිමිපාණෝ සසුනඹර පෑයූ පුර සඳක් මෙන් දිනෙන් දින බැබළෙමින් වැඩ වෙසෙති.

1994 වසරේ සිට නිකායේ කාරක සංඝ සභාවද නියෝජනය කළ උන්වහන්සේ පසුව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සමාජ සංවර්ධන සභාවේ ලේඛකාධිකාරි ධූරයට හා පසුව 2003වසරේදී ප්‍රධාන ලේකම් තනතුරද හෙබවූහ. විශේෂාධිකාරි මණ්ඩලය, ජ්‍යෙෂ්ඨනුවිජ්ජ්ක මණ්ඩලය, උපරිමානුවිජ්ජක මණ්ඩලය යන විශේෂ මණ්ඩල හරහා 2012 වසරේදී

නියෝජ්‍ය මහා ලේඛකාධිකාරි ධුරයට පත්වීම උන්වහන්සේගේ ශාසනික කාර්යසාධනයේ ධනාත්මක කැඩපතක් වූහ. එහි ආලෝකයෙන් උන් වහන්සේ අනුනායක ධූරයට වරම් ලැබූහ. ආචාර්ය වලේබොඩ ගුණසිරි අනුනාහිමිපාණන්ට ඉදිරියටත් ශාසනික හා සමාජයීය සද් කාර්යයන්තවත් පුලු‍ල් ලෙස ඉටු කිරීමට නිරෝගී සම්පත්තියත්, චිර ජීවනයත් ලැබේවා යි

අපි වන්දනීය සිතින් ප්‍රාර්ථනා කරමු

කලාභූෂණ කිවිපති
ශාසනකීර්තී දේශාභිමානී
ඩබ්ලිව්. කේ. සරත් විමලසිරි

advertistmentadvertistment
advertistmentadvertistment