මෙරට මිටි දරුවන්ගේ ප්‍රතිශතය එක් වසරක් තුළ සියයට 5කින් වැඩිවෙලා – නිසි පෝෂණය නොලැබුණොත් දරුවන්ගේ බුද්ධි වර්ධනය අඩුවෙයි – වෛද්‍ය කලණ පීරිස්

171

මෙරට පෝෂණ දර්ශකවලට අනුව 2021 වර්ෂයේ අවුරුදු පහත් දහයත් අතර වයසේ පසු වූ දරුවන් අතර සියයට 21 ක්ව පැවති මිටි භාවය සහිත දරුවන්ගේ ප්‍රතිශතය 2022 වසරේ සියයට 26 දක්වා ඉහළ ගොස් තිබූ බව ලෝක ආහාර සංවිධානයේ සහයෝගීතා ලේකම් කාර්යාලයේ සම්බන්ධීකාරක වෛද්‍ය කලණ පීරිස් මහතා පැවසීය.

මේ අතර වයස අවුරුදු 10 -17 ත් අතර දරුවන්ගෙන් සියයට 22ක ප්‍රතිශතයක් මිටි භාවයෙන් පසුවූ බවත් මෙම තත්ත්වය බොහෝ විට පෝෂණය අඩුවීම නිසා හටගන්නා අතර එය දරුවන්ගේ බුද්ධිය අඩුවීම කෙරෙහි බලපාන බවත් වෛද්‍ය කලණ පීරිස් මහතා පවසයි.

ලෝක ආහාර වැඩසටහන යටතේ උතුරු මැද පළාතේ පාසල් දරුවන් වෙනුවෙන් පෝෂ්‍යදායී දිවා ආහාර වේලක් ලබාදීමේ වැඩපිළිවෙළහි නවතම ප්‍රවේශය වන ‘ගෙවත්තෙන් පංතියට’ නමැති ගෙවතු වගා වැඩසටහනේ වත්මන් ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාර්යාල පරිශ්‍රයේ පැවති සාකච්ජාවේදී කලණ පිරිස් මහතා මේ බව කියා සිටියේය.

මානව ප්‍රාග්ධන ප්‍රවර්ධනයේදී දරුවකුගේ මුල් දින 1000 ඉතා වැදගත් වන බවත්, එම කාලය තුළ පෝෂණය ඉහළ නැංවීමට ලබාදෙන සහාය මත මීළඟ දින 7000 ක්‍රමානුකූල විය යුතු බවත් ඒ මහතා සඳහන් කළේය. මේ අනුව දරුවන්ගේ බුද්ධිය වර්ධනය කිරීම සඳහා වන නිසි පෝෂණය දරුවන් වෙනුවෙන් ලබාදිය යුතු බවත් එසේ නොමැති වුවහොත් දරුවන් තුළ බුද්ධිමත් භාවය ගොඩ නොනැගෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම රැස්වීමට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර, ලෝක ආහාර වැඩසටහනේ සහයෝගීතා ලේකම් කාර්යාලයේ සම්බන්ධීකාරක නීල් ද අල්විස්, එම ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඩබ්ලිව්. එස්. මංගල යන මහත්වරුන් ඇතුළු උතුරුමැද පළාතේ රාජ්‍ය නිලධාරීහු සහභාගි වූහ.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment