රට වටේ මිනීමැරූ ප්‍රබල අපරාධකරු එස්ටීඑෆ් වෙඩි පහරින් මරු දකි

1297

සැකකරුගේ වෙඩි ප්‍රහාරවලින් එස්ටීඑෆ් නිලධාරීන් දෙදෙනෙකුටත් තුවාල

ඇඹිලිපිටිය පොලස් වසමේ වැලිකඩයාය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වෙඩි තැබීමකින් ඝාතන රැසකට සම්බන්ධ 22 හැවිරිදි සැකකරුවෙකු මියගොස් තිබේ.

වෙඩි තැබීම් රැසක් සම්බන්ධයෙන් හා පුද්ගල ඝාතන සම්බන්ධයෙන් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා 24 දා අලු‍යම ඇඹිලිපිටිය වැලිකඩයායේ පිහිටි නිවසකට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පැමිණ ඇති අතර එහිදී ඔහුව අත්අඩංගුවට ගැනීමට සිදුකළ මෙහෙයුමකදී ඔහු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට වෙඩි තබා ඇත. එම නිලධාරීන් අලු‍යම 3.50ට පමණ මෙම නිවසට පැමිණ ඉදිරිපස දොර විවෘත කරන ලෙස දැනුම් දුන්න ද ඉදිරිපස දොර විවෘත කර නොමැති අතර එම නිලධාරීන් විසින් දොර කඩා නිවසට ඇතුලු‍ වී ඇති බව පොලීසිය පවසයි. ඉන් අනතුරුව නිවසේ දෙවැනි කාමරය සෝදිසි කිරීමට සූදානම් වනවාත් සමගම සැකකරු විසින් වෙඩි ප්‍රහාර එල්ල කර ඇත. එහිදී එක් විශේෂ කාර්ය බළකා නිලධාරියෙකුට තුවාල සිදුව ඇති අතර අනෙක් නිලධාරියා බිම ඇද වැටී ඇත. පසුව විශේෂ කාර්ය බළකා වෙඩි ප්‍රහාර හමුවේ සැකකරුට වෙඩි වැදී ඇත. එම කාමරය තුළ ගිනි අවියක් සහ මියගිය අයගේ මුදල් පසුම්බිය සහ විශාල ලේ ගැලීමක් සිදුව තිබෙන ආකාරය දක්නට විය.

වෙඩි වැදුණු සැකකරු ඇඹිලිපිටි මහ රෝහලට ඇතුළත් කර ඇත. පසුව ඔහු මියගොස් තිබේ. මේ අතර තුවාල ලැබූ විශේෂ කාර්ය බළකා නිලධාරීන් දෙදෙනා ද රෝහල් ගතකර ඇත. සිද්ධිය වූ ස්ථානයට සැකකරුගේ මව සහ වැඩිමහල් සහෝදරයා පැමිණ සිටිනු දක්නට ලැබිණි.

මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි හඳුන්නෙත්ති ගනිදු සදුමිණ මෙන්ඩිස් නම් තිස්සමහාරාම 868, මෙත්සෙවන විජයපුර, තිස්සමහාරාම, ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. ඇඹිලිපිටිය ‍නින්දගම්පැලැස්ස ග්‍රාම නිලධාරී වසමේ වැලිකඩයාය මෙම නිවසට මියගිය අය පැමිණ ඇත්තේ ඔහුගේ වැඩිමහල් සහෝදරයා විවාහ වී ඇත්තේ එම නිවසින් බැවිනි.

ඔහු හිටපු හමුදා විශේෂ බළකායේ සෙබළෙක් බව පොලීසිය පැවසීය. සැකකරු පසුගියදා මිනුවන්ගොඩ බැස්ටියන් මාවත ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමට සහ අම්බලන්ගොඩදී නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුට සිදුකළ වෙඩිතැබීමට, කටුනායක ඇවරිවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම, එමෙන්ම ගමන්ගෙදර ප්‍රදේශයේ සිදුවූ

ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයටත් මෙම වසරේ පෙබරවාරි 16 වන දින මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධ සැකකරුවෙකු බව පොලීසිය පවසයි. මේ වන විට විදේශගතවී සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු විසින් මේ පුද්ලයා මෙහෙයවා ඇති බව අනාවරණය වේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලීසිය, ස්ථානීය අපරාධ ඒකකය විමර්ශන ආරම්භ කරන ලදී. මේ සම්බන්ධ මහෙස්ත්‍රාත් පරීක්ෂණය ඇඹිලිපිටිය ප්‍රධාන මහෙස්ත්‍රාත් සොනාලි ජයසූරිය මෙනෙවිය සිදුකරන ලදී.

හේමන්ත රන්දුණු, ප්‍රභාත් විතාන, ඕමල්පේ ප්‍රගීත් ජනක

advertistmentadvertistment
advertistmentadvertistment