රතු නිවේදන නිකුත් කළත් – පාතාලයන් ගෙන්වන්න මරණ දඩුවම හරස් වෙයි

512

නි. පොලිස්පති අසංක කරවිට පාර්ලිමේන්තු ආංශික අධීක්‍ෂණ කාරක සභාවට කියයි
ඉන්ටර්පෝල් බෑ කියයි
මාස 8 ට වෙඩි තැබීම් 71ක් මරණ 41ක්: 24කට තුවාල

විදෙස් රටවලට පලාගොස් සිටින පාතාල අපරාධකරුවන් ගෙන්වා ගැනීමට රතු නිවේදන නිකුත් කර ඇතත් මෙරට පවතින මරණ දඬුවම නීතිය නිසා ඔවුන් එම රටවලින් පිටුවහල් කිරීමට ජාත්‍යන්තර පොලිසිය අකමැත්ත ප්‍රකාශ කර ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට (නීතිය හා අපරාධ) මහතා පාර්ලිමේන්තු ආංශික අධීක්‍ෂණ කාරක සභාව හමුවේ අනාවරණය කළේය.

රටේ පවතින අපරාධ සම්බන්ධයෙන් මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට කැඳවා තිබූ අවස්ථාවේ ඉහත කරුණු අනාවරණය විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා එම කාරක සභවේදී පොලිසියෙන් අසා සිටියේ වෙඩි තැබීම් සිදුකර සැකකරුවන් පළා යන බවත් ඒවා සීසීටීටීවල සටහන්ව තිබුණද වෙඩි තැබීම් සිදුකර මේ පුංචි රටේ සැඟවී සිටියද සැකකරුවන් අත්අඩංගුවට ගැනීම් ප්‍රමාද වන්නේ කෙසේද කියායි.

එහිදී නියෝජ්‍ය පොලිස්පති කරවිට මහතා මෙම වෙඩි තැබීම් විදෙස් රටවල සිට මෙහෙයවන බවත් ‘අන්ඩර්වල්ඩ්’ මෙහෙයවන පිරිස් හඳුනාගෙන ඇති බවත් පැවසීය. මේ වන විට පාතාල සාමාජිකයන් 148 ක් මෙරටට ගෙන්වා ගැනීමට රතු නිවේදන නිකුත් කර තිබෙන බවද හෙතෙම කියා සිටියේය.

මේ අතරින් කිහිප දෙනකු මෙරටට ගෙන්වා ගෙන ඇති බවත් තවත් 12 ක් පමණ ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන නඩු පැවරීම් සිදුකර බන්ධනාගාරගතව සිටින බවත් ඒ මහතා කීය. මෙරට සිට පාතාල ක්‍රියාකාරකම්වල යෙදුණු පාතාල සාමාජිකයන් 16 දෙනකු ප්‍රතිප්‍රහාර හමුවේ මියයෑම සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් අධිකරණවල නඩු පවතින බවත් ඒවා සාධාරණ මිනී මැරුම් ලෙස නීතිය හමුවේ ප්‍රකාශවන තෙක් පොලිස් නිලධාරීන් පාතාල සාමාජිකයන් මර්දනය කිරීමට යම් පසුබෑමක් දක්වන බවත් කරවිට මහතා කීය.

මේ වන විට පාතාල සාමාජිකයන් වෙඩි තැබීම් සිදුකිරීමෙන් පසු විදෙස් රටකට පළා යෑමට උත්සහ කරන වාතාවරණයක් පවතින බවත් හෝමාගම ප්‍රදේශයේදී මෑතකදී සිදුකළ වෙඩි තැබීමකින් පසු ‘හඳයා’ නමැති සැකකරු දින දෙකක් ඇතුළත විදෙස් රටකට පළා යෑම ඊට නිදසුනක් බවත් කී හෙතෙම මීට අමතරව මෙම පාතාල සාමාජිකයන් මුහුදෙන් පළා යෑමද වාර්තාවන බවත් පැවසීය.

මේ වන විට ප්‍රංශයේ අත්අඩංගුවේ සිටින ‘කුඩු අංජු’ ඇතුළු තවත් රටවල අත්අඩංගුවට ගෙන සිටින පාතාල සාමාජිකයන් 05 දෙනකු ගෙන්වා ගැනීමට රතු නිවේදන නිකුත් කර ඇතත් හෙරොයින් මත්ද්‍රව්‍ය ශුද්ධ බර ග්‍රෑම් 5 ක් පැවතියහොත් මෙරටදී මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සහ පාතාල සාමාජිකයන්ට මරණ දණ්ඩනය ක්‍රියාත්මක වීම සැලකිල්ලට ගැනීමේදී රතු නිවේදන නිකුත් කර ඇතත් ඔවුන් මෙරටට ලබාදිය නොහැකි බව ජාත්‍යන්තර පොලිසිය දැනුම්දී ඇති බවද කරවිට මහතා කීය.

මෙම අධීක්‍ෂණ කාරක සභාව හමුවේදී මේ වසරේ ගෙවීගිය මාස 8 තුළ වෙඩි තැබීම් 71 ක් සිදුකර ඇති බවත් ඉන් 41 ක් මියගොස් තවත් 24 ක් තුවාල ලබා ඇති බවත් අනාවරණය විය.

මෙරට තුළ මරණ දඬුවම ක්‍රියාත්මක වුවත් 1978 වසරේදී ජේ. ආර්. ජයවර්ධන මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මෙරට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවනු ලැබීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment