රනිල් රටේ ජනපතිවීම

394

(රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත්වී මෙම 21 වෙනිදාට වසරක් පිරීම නිමිත්තෙනි)

ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසය ගත්විට බොහෝ රජවරු රට පාලනය කර ඇත. එම පාලන කාලය තුළ ඔවුන් විසින් වාරිමාර්ග දියුණු කර වැව් අමුණු තනා කෘෂිකර්මය ඉතා දියුණු තත්ත්වයට පත්කර තිබුණි. පෘතුග්‍රීසීන් ද ලන්දේසීන් ද, ඉංග්‍රීසීන් ද රට පාලනය කර ඇත. ඉංග්‍රීසීන් රට පාලනය කරන සමයේ අප රටට ඔවුන්ගෙන් ලැබූ දේ බොහෝය. වාරිමාර්ග, ප්‍රවාහන මාර්ග, දුම්රිය මාර්ග දියුණු කළ අතර කෘෂිකර්මය ද ඉතා දියුණු තත්ත්වයකට පත් කළේය. එපමණක් නොව විධිමත් අධ්‍යාපන ක්‍රම, ආරක්‍ෂක ක්‍රම, නීතිය, පරිපාලනය ඇතුළු නොයකුත් දේ ඔවුන් අපට ලබාදෙමින් අප රට සංවර්ධනය කරා මෙහෙව්වේය. එතෙක් කල එක තැන පල්වෙමින් තිබූ රට පිබිදීමක් ඇති කළේය. මෑත ඉතිහාසයේ ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ පාලන කාලය තුළ රට පුරා නිදහස් වෙළෙඳ කලාප ඇතිකරමින් දේශීය කර්මාන්තවලට ද පහසුකම් සැලසීය. අප රටට මහත් දායාදයක් වන මහවැලි ව්‍යාපාරය ආරම්භ කළේය. දැනටත් නොකඩවා විදේශ මුදල් (ඩොලර්) මෙරටට ගලා එන්නේ ඔහුගේ නිදහස් වෙළෙඳ කලාප සංකල්පය තුළිනි. එය වෙනත් කරුණකි.

මෙතරම් අපේ රට ආර්ථික දුෂ්කරතාවකට පත්ව ඇති මොහොතක රනිල් වික්‍රමසිංහයන් ජනාධිපති ධුරය භාර නොගත්තේ නම් අද වනවිට මුළු රටම අක්‍රියවන්නට තිබුණි. සියලුම අංශ, කර්මාන්ත, ගොවිතැන, රජයේ දෙපාර්තමේන්තු සියල්ල ගරාවැටෙන්නට තිබුණි. එතුමාගේ දූරදර්ශී දැක්ම, සැලසුම් නිසාම රට සංවර්ධනය වන රටක් බවට පත්ව ඇත. රනිල් වික්‍රමසිංහයන්ගේ සෑම උත්සාහයක්ම අසාර්ථක කිරීමට බොහෝ කණ්ඩායම් උත්සාහ කරද්දී ඔහු නොසැලී රට වෙනුවෙන් කරන්නට පුළුවන් සෑම පියවරක්ම ගත්තේය. රට ගොඩනැගීමට නම් IMF ආධාර ගත යුතුව ඇත. වෙනත් විකල්පයක් නැත. මෙතුමන් IMF ලබා ගැනීමට උත්සාහයන් දරද්දී සියලුම විරුද්ධ දේශපාලන කණ්ඩායම් එය නොලැබෙන තැනට පත්කිරීමට උත්සාහ දැරූහ. නමුත් එතුමාගේ දක්‍ෂතාව නිසා IMF ආධාර ලබා ගත්තේය.

රනිල් වික්‍රමසිංහයන්ගේ දේශපාලන කාලය තුළ ඔහු ජනතාවට ලබාදුන් දේ බොහෝය. මෑත ඉතිහාසය ගත්විට බොහෝ කාලයකින් රටේ ආර්ථිකය ගොඩගත හැකි දේශපාලකයෙක් බිහිවී නැත. වික්‍රමසිංහයන්ගේ රටේ පාලන කාලය තුළ රටේ ආර්ථික මට්ටම අඩාල වී නැත.

එතුමන් අගමැති ධුරය හෙබවූ 1993 සිට 1994 කාලය තුළ පෞද්ගලික හා රාජ්‍ය නිෂ්පාදන තත්ත්වය ඉහළ නැංවීම, විදේශ ආයෝජන දිරිගැන්වීම තුළින් නිදහස් වෙළෙඳ කලාප නැංවීම සිදුවිය. දේශීය විදේශීය බැංකුවල ක්‍රියාකාරකම් වියදම අඩුවිය. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ ආණ්ඩුව යටතේ 2001 සිට 2004 දක්වා අග්‍රාමාත්‍යවරයා හැටියට කටයුතු කරමින් එවකට ගරාවැටී තිබූ ආර්ථිකය ගොඩනැගූ බව කවුරුත් දන්නා කරුණකි. එයින් පසු ආණ්ඩුවේ බලය ජනාධිපතිනිය අතට ගනිමින් නැවතත් ආර්ථිකය ප්‍රපාතයට හෙළා දමන ලදී. එයට අමතරව එතුමා එම කාලය තුළදී 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ තිබූ ජනාධිපතිවරයාගේ අසීමිත බලතල අඩුකරමින් 2001 දී 17 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනඑමින් රට තුළ ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුකරණය ස්ථාපිත කරන ලදී. විධායක ජනාධිපති ධුරයේ බලතල සීමාකරන ලදී, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම සහ ඒවා බලගැන්වීම සිදුවිය. මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නිර්න කොමිෂන් සභා ඇති කර ඒවාට බලය පවරන ලදී. රජයේ උසස් නිලතල සඳහා පත්කිරීම් කිරීමට සංවරනයකින් තොරව ජනාධිපතිවරයාට දී තිබූ අධික බලතල හේතුවෙන් රාජ්‍ය සේවා, පොලිසිය, අධිකරණය, දේශපාලනකරණය වීම අහෝසි කරන ලදී.

2015 යහපාලන ආණ්ඩුව තුළ රනිල් වික්‍රමසිංහයන් අග්‍රාමාත්‍ය ධුරය හොබවමින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේය. ඒ තුළින් එතුමා බලාපොරොත්තු වූයේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහ පාලනය තහවුරු කිරීමටය. එමෙන්ම ජනාධිපති ධුරය තුළ පවතින ප්‍රජාතන්ත්‍රවාදී නොවන ලක්‍ෂණ ඉවත් කිරීම එතුළින් අපේක්‍ෂා කරන ලදී. බොහෝ හැලහැප්පිලි මැද රනිල් වික්‍රමසිංහයන් යම්තාක් දුරට රටේ ආර්ථිකය යහපත් අතට ගෙන ආවේය. ඉතිහාසයේ කවදාවත් නොවූ ආකාරයට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළේය. එම යහපාලන රාජ්‍ය කාලය තුළ ගෑස්, ඩීසල්, පෙට්ට්‍රල්, භූමිතෙල් මිල සෑහෙන මුදලකින් අඩුකර එම මට්ටමේම පවත්වාගෙන ආවේය. සංවර්ධන කටයුතු රටට ගැලපෙන ආකාරයට කළේය. නව පාසල්, විශ්වවිද්‍යාල අලුතින් ආරම්භ කළේය. සින්නක්කරව චීනයට දී තිබූ පොට්සිටිය සින්නක්කරය අහෝසි කර බදු ක්‍රමයට හරවන ලදී. සුවසැරිය වැනි අසරණ රෝගීන්ට සහනයක් වන ගිලන්රථ ලබා දුන්නේය. බලය බෙදාහැරීම, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම, රජයේ තොරතුරු විනිවිදභාවයෙන් තොරතුරු දැනගැනීමේ ක්‍රම ඇති කළේය. රනිල් වික්‍රමසිංහයන් කිසිම දිනක රටේ කොටස් විකුණා නැත. විකුණා තිබූ දේ ආපසු ගත්තේය. විදෙස් ප්‍රතිපත්ති ක්‍රමවත්ව රටට ගැලපෙන ආකාරයට කරගෙන ආවේය. යහපාලන කාලය තුළ රටට අහිමිවී තිබූ GSP Plus ලබා ගත්තේය.

මේ රටේ ආර්ථිකය නගා සිටුවිය හැක්කේ එතුමාට පමණි. වෙන කිසිම දේශපාලකයකුට රටේ ආර්ථිකය නගා සිටුවීමට හැකියාවක් හෝ උවමනාවක් නැත. ඉතිහාසයේ සිට රනිල් වික්‍රමසිංහයන් හොඳ පාලකයෙක් බව පෙන්වා දී ඇත. ඔහුට හිමිවිය යුතු තැන ජනාධිපති ධුරය මේ අවස්ථාවේ ලැබුණේ රටේ ජනතාවගේ භාග්‍යටයි. ලෝකයේ සිටින දූරදර්ශී නායකයන් වන රුසියාවේ පුටින්ටත්, කැනඩාවේ ජස්ටින් ටුඩෝටත් දෙවෙනි නොවන නායකයෙකි. රනිල් වික්‍රමසිංහයන් හොඳ සිංහල බෞද්ධයෙකි. ඔහු ජාතිවාදියෙක් හෝ ආගම් වාදියෙක් නොවේ. ඔහු සියලු ජාතීන්ට, ආගම්වලට, සංස්කෘතීන්ට සම තැන දෙන නායකයෙකි. රටේ නීතියට අනුව කවුරුත් ක්‍රියාකළ යුතුය. රටේ සුරක්‍ෂිතභාවය ඇතිකර ජනතාව සුඛිත මුදිත කිරීමට නම් රනිල් වික්‍රමසිංහයන්ට තව අවුරුදු දහයක්වත් ජනාධිපති ධුරය හිමිවිය යුතුය. දෙදහස් විසිපහේදී ඔහුට අවුරුදු හැත්තෑපහක් වනු ඇත. ප්‍රශ්නයක් නැත ඔහු පරිනත ක්‍රියාශූර අති දක්‍ෂයෙකි. තව අවුරුදු දහයකදී සංවර්ධිත රටක් බිහිකිරීමට ඔහුට ශක්තිය හා දැනුමක් ඇත.

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයකින් අධ්‍යාපනය ලද රනිල් වික්‍රමසිංහයන් නීති විද්‍යාලයෙන් නීති උපාධිය ලබා ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයකින් PHD උපාධිය දිනූ උගතෙකි.

1977 දී බියගම ආසනයෙන් තරග කර පාර්ලිමේන්තුවට පත්වන මෙතුමා විදේශ කටයුතු උප ඇමැතිකම ලැබීය. අනතුරුව යෞවන කටයුතු හා රැකීරක්‍ෂා ඇමැතිවරයා ලෙස කරන ලද සේවාව නායකත්වයේ පමණක් නොව ජාතියේද ප්‍රසාදය හිමිවිය. අනතුරුව අධ්‍යාපන ඇමැතිවරයා ලෙස පත් වූ මෙතුමා කරන ලද මෙහෙය අදත් දිදුලයි. අධ්‍යාපන විද්‍යාපීඨ මෙතුමාගේ සංකල්පයක් වන අතර පිරිවෙන් අධ්‍යාපනය නව පෙරළියක් ඇති කළ 1979 අංක 64 පනත ද මෙතුමාගේ නායකත්වය යටතේ බිහිවූවකි. අනතුරුව ලද කර්මාන්ත අමාත්‍ය ධුරය ද ඉතා වගකීමෙන් ඉටුකළ අතර සභානායක වශයෙන් ද පාර්ලිමේන්තුවේ කටයුතු කළ පරිනත නායකයෙකි. පස්වතාවක් අග්‍රමාත්‍ය ධුරය ලද මෙතුමාට දේශපාලනමය කරුණු නිසා එහි කටයුතු නිසි ලෙස දිගටම කිරීමට නොලැබුණේ ජාතියේ අවාසනාවටය. අහම්බෙන් හෝ රටේ මෙවැනි දුක්ඛිත අවස්ථාවක එතුමා ජනාධිපති ධුරය භාරගත්තේ ජාතියේ පිනටය.

දේශීය හා ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ ප්‍රමාණික අත්දැකීම් ඇති මෙතුමා සිය ජීවිතය දේශපාලනය වෙනුවෙන් කැප කළ අයෙකි. දිවා රාත්‍රි දෙකෙහි ජාතියේ උන්නතිය ගැනම සිතන මොහුට රකින්නට පරපුරක් හෝ පුද්ගලයෙක් නැත. දේශපාලනයෙන් ලද දෙයක් ද නැත. එසේ ලබා ගැනීමේ අපේක්‍ෂා ද නැත.

පුද්ගල හා සමාජ සමානාත්මතාව පිළිබඳ මනා දැනුමක් ඇති රනිල් වික්‍රමසිංහ විසින් ලංකාවේ ප්‍රථම වතාවට තරග විභාග මගින් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ ක්‍රමය හඳුන්වා දෙන ලදී. එනම් රැකියා දීමේදී නියම සුදුස්සා තෝරා ගැනීමේ ක්‍රමවේදයයි.

මෙහිදී පක්‍ෂ විපක්‍ෂ සුදුසුකම නොව වැඩි ලකුණු ගැනීමේ එකම සුදුසුකම විය. කර්මාන්ත සඳහා උනන්දුවක් දක්වන අයට ඒ සඳහා යොමු කිරීමේ අවස්ථා ඇති කළ මෙතුමා කලට වේලාවට නිසි පරිදි වැඩ කිරීමත් නිවැරදි තීන්දු ගැනීමේත් උපන් හැකියාවන්ගෙන් අනූනය.

බියගම නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස ඔහු කළ මෙහෙයන් බොහෝය. නිදහස් වෙළෙඳ කලාප ඇති කිරීම, සකලාංග සම්පූර්ණ පාසල් ඇති කළ අතර, අද ඉතාම ජනප්‍රිය සපුගස්කන්ද විශාඛා බාලිකා විද්‍යාලය ඇති කළේය. මහා මාර්ග, තැපැල් කාර්යාල, අධ්‍යාපන කාර්යාල, ජල නළ, විදුලිය ආදී නොයකුත් යටිතල පහසුකම් ඇති කළ අතර සිය නායකත්වයේ කටයුතු හරියට කළේය. එතුමා නොකලේ බාර් හා තැබෑරුම් ලබාදීම පමණකි. ගණිකා මඩම් ආදී සමාජ ද්‍රෝහී කිසිදු කටයුත්තක් සිදුවීමට ඉඩක් නොදුන් ඔහු නීතිගරුක බව හා යුක්තිගරුකභාවය ඉතා ඉහළින් ඇති පෞරෂයක් සහිත නායකයෙකි. මෙතුමා තව අවුරුදු දහයකට රාජ්‍ය බලය ලද හොත් එය ජාතියේ වාසනාවකි. කවදත් තම නායකත්වයට අවංක වන රනිල් ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමාට කවුරුත් නැති වූ අවස්ථාවේ ළඟින්ම සිට කටයුතු කළේය. තනතුරු දෙවෙනි කොට සැලකූ මෙතුමා තම කාර්ය හරියටම කිරීමට ජීවිතයේ වඩාත් වැදගත් කොට සැලකීය. කොටි සංවිධානය සමග සාම සාකච්ඡා සඳහා ජිනිවා ගියේය. සාමයෙන් කොටි සංවිධානය පරාජය කළ නොහැකි බව ලෝකයට පෙන්වා සාම සාකච්ඡා අතහැර දැම්මේය.

කොටි සංවිධානය පරාජය කිරීමේදී කරුණා අම්මාන්ගෙන් අභ්‍යන්තර තොරතුරු ගැනීම සඳහා කටයුතු කළේ ඔහුය. යුද ජයග්‍රහණයේ ආරම්භය සිදුවන්නේ මෙතැන් සිටය. මෙතුමාට මෙම රාජ්‍ය තාන්ත්‍රිකත්වය හා බුද්ධිය ලැබීමට සිය පවුලේ ආභාසය හේතු වූවාට සැකයක් නැත. ලෝකයේ හොඳම ලේඛකයාට හිමිවන රන් පෑන තිළිණය ලද එස්මන්ඩ් වික්‍රමසිංහ ඔහුගේ පියාය. ඔහු ලේක්හවුස් ආයතනයේ අධ්‍යක්‍ෂ ධුරය මෙන්ම ඉංග්‍රීසි පුවත්පත් ප්‍රධාන කතෘ ධුරය හෙබවූ විශිෂ්ටයෙකි. ලේක්හවුස් පුවත්පත් ආයතනයේ නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධනයන්ගේ කනිෂ්ඨ දියණිය වූ නාලනී විජයවර්ධන වික්‍රමසිංහ මෑණියෝය. යහපත් නීතිගරුක යුක්තිගරුක සමාජයක් හා සුවපත්වූ ආර්ථිකයක් හෙට දිනක් උදාකිරීම සඳහා රනිල් වික්‍රමසිංහයන්ගේ ජනාධිපති පදවි ප්‍රාප්තිය රටට යහපත් දිශානතියක ඇරඹුමක් ලෙස දකිමි.

රනිල් රටේ ජනපතිවීම

● විමලසිරි කුමාරපේලි

ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු

advertistmentadvertistment
advertistmentadvertistment