‘ලංකාව දැන් සූදානම්’ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන 15 දා චීනයෙන් අරඹයි

92

මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන් ප්‍රමාණය වර්ධනය කර ගැනීම සඳහා නවගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් සැලසුම් කර ඇති බවත් එය ලබන මස 15වැනිදා සිට චීනයෙන් ආරම්භ කරන බවත්, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු මහතා ඊයේ (31 දා) කොල්ලුපිටියේ සංචාරක මණ්ඩලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

මේ ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහනට රු. කෝටි 160 ක මුදලක් වැයවනු ඇති බවට ඇස්තමේන්තු කර ඇති බව ද ගජබාහු මහතා කීවේය.

‘ලංකාව දැන් සූදානම්’ යන තේමාවෙන් මෙම ප්‍රවර්ධන වැඩසටහන චීනයෙන් ආරම්භ කර මාස දෙකක පමණ කාලයක් සිදුකරගෙන යෑමට සැලසුම් කර ඇති බව ද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපතිවරයා කීවේය.

මෙම වැඩසටහන දියත් කිරීමේදී සියලුම රටවල එකවර ක්‍රියාත්මක නොකරන බවත් ඒ ඒ රටවල සංචාරක ඇණවුම් කාලයන් ඉලක්ක කරගෙන එය දියත් කරන බවත් ඔහු සඳහන් කළේය.

මේ ගෝලීය සංචාරක ප්‍රවර්ධන මෙහෙයුමේ තවත් අදියරක් 2024 පෙබරවාරි මුල දියත් කරන බවත් ඒ සඳහා ඉන්දියාව, චීනය, රුසියාව, එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඔස්ටේ්‍රලියාව, මැදපෙරදිග, ස්කැන්ඩිනේවියාව, ජපානය සහ දකුණු කොරියාව යන රටවල් තෝරාගෙන ඇති බවත් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු මහතා තවදුරටත් කියා සිටියේය.

මේ මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ සභාපති ශිරන්ත පීරිස් මහතා ද කතා කළේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment