ලබන වසරේ සිට අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වැඩි මුදලක් වෙන් කරනවා – “සීතාවක-සිසු ඇරුණලු‍” වැඩසටහනට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි

102

සටන් පැරදුණ අය වීරයෝ කර සටන් දිනූ අය පසෙකට දමනවා

ලබන වසරේ සිට අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වැඩි මුදලක් වෙන්කිරීමට ආණ්ඩුවක් හැටියට අප සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේබව සඳහන් කළේ පාසල් සිසු දරුවන් 12,000කට පාසල් උපකරණ සහ නිල ඇඳුම් බෙදාදීම වෙනුවෙන් හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ පෙරේදා(25දා) පෙරවරුවේ පැවති “සීතාවක – සිසු ඇරුණලු‍” වැඩසටහනට එක්වෙමිනි. මෙම සියලු පාසල් උපකරණ සහ නිල ඇඳුම් චීන රජය මගින් ලබාදී තිබීමද විශේෂත්වයකි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

පසුගිය වසරේ රට මුහුණදී තිබූ ආර්ථික අභියෝගය නිසා අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කර ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ. නමුත් ලබන වසරේ සිට අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වැඩි මුදලක් වෙන් කිරීමට ආණ්ඩුවක් හැටියට අප සැලසුම් කර තිබෙනවා. අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පිළිබඳව කතා කිරීමේදී පාසල් අධ්‍යාපන ක්‍රමයත්, ටියුෂන් අධ්‍යාපන ක්‍රමයත් ක්‍රියාත්මක වෙනවා. මෙහිදී රජය වියදම් කරන මුදල වගේම මුදලක් දෙමාපියන්ටද දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් වෙනවා. මේ පිළිබඳ සොයා බලා නව අධ්‍යාපන ක්‍රමවේදයක් සකස් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එහිදී අධ්‍යාපනඥයින්ගේ සහ සිසුන්ගේ අදහස් ලබාගැනීමටද කටයුතු කරනවා. ඒවගේම දරුවන්ට අවශ්‍ය වෘත්තීය අධ්‍යාපනය ලබාදීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කළ යුතුය. වෘත්තීය අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කරමින් ශ්‍රී ලංකාව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට කටයුතු කළයුතුයි. එසේ කිරීමෙන් ශ්‍රී ලංකාවේ අනාගත දියුණුවට අවශ්‍ය වෘත්තීය දැනුමෙන් යුත් පුරවැසියෙකු නිර්මාණය කිරීමට අපට හැකියාව තිබෙනවා.

සීතාවක රාජධානිය පිළිබඳ ජනප්‍රවාදයේ බොහෝ කතා සඳහන් වෙනවා. විශේෂයෙන්ම මුල්ලේරියාව සටන පැවති ස්ථානයේ සහ දන්තුරේ සටන පැවති ස්ථානයේ ස්මාරක ඉදිකිරීම ද මම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත උපදෙස්දී තිබෙනවා. මේ පිළිබඳව පියවර ගන්නා ලෙස පුරා විද්‍යා දෙපාර්තමේන්තුවටද අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා. අප මෙම ඉතිහාසය අමතක නොකළ යුතුයි. ඒ වගේම මෙරට ශ්‍රේෂ්ඨ රජවරුන් රට වෙනුවෙන් ඉටුකළ සේවය අමතක නොකළ යුතුයි. රාජසිංහ රජතුමාගෙන් ශත වර්ෂ දෙකකට පසුව චූලවංශයේ සඳහන් වූ කරුණක් නිසා රාජසිංහ රජතුමාව නොසළකා හැර තිබෙනවා. අප මෙම ඉතිහාසය ගැන සිතන්නේ නැහැ. සටන් පැරදුන අය වීරයෝ කරනවා. සටන් දිනූ අය පසෙකට දමනවා. ඒ නිසා සීතාවක රාජසිංහ රජතුමාගේ ජීවන චරිතය පිළිබඳ යළි විග්‍රහයක් සිදු කළ යුතුයි කියා මම සිතනවා.

ලබන වසරේ සිට අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වැඩි මුදලක් වෙන් කරනවා - “සීතාවක-සිසු ඇරුණලු‍” වැඩසටහනට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි

අනාගතය ගොඩනඟන අතරම අතීතය පිළිබඳවද අප අවබෝධයක් ලබාගත යුතුයි. මේ සීතාවක සියලු‍ පාසල්වල දරුවන්ට මම ආරාධනා කරනවා සීතාවක රාජධානිය සහ සීතාවක ඉතිහාසය පිළිබඳ කරුණු ලියා අපට එවන ලෙස. ඒ අතරින් හොඳම නිර්මාණය යොමු කළ පාසලට තිළිණයක් ලබා දීමට මම බලාපොරොත්තු වෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අධ්‍යාපන යනු රටේ හොඳම ආයෝජනයයි. ඒ සඳහා ආණ්ඩුව සෑමවිටම කැපවී කටයුතු කරනවා. අද මේ සිදු කරන්නෙ චීන රජය ලබාදී තිබෙන පාසල් උපකරණ කට්ටල බෙදාදීමයි. ඒ සඳහා ජනාධිපතිවරයා පැමිණීම අගය කොට සලකනවා.

කැලණි මිටියාවතේ පළමු මධ්‍ය විද්‍යාලය ලෙස හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය බිහිවුණාට පසුව විශාල සිසු පිරිසකට අධ්‍යාපන වරම් හිමි වුණා. අද මෙම පාසලෙන් බිහි වී රටේ දියුණුවට දායකත්වය ලබාදෙන විශාල පිරිසක් සිටිනවා.

advertistmentadvertistment
advertistmentadvertistment