ත්‍රස්තවාදයට ඔක්සිජන් දෙන සංවිධාන 15 ක තහනම දිගටම

252

සොයන්න නිසි බලධරයෙක්

ආරක්‍ෂක ලේකම්ට වගකීම පැවරෙයි

ලැයිස්තුවෙන් ඉවත් වෙන්න  අයැදුම්පත් දාන්නත් අවස්ථාවක්

සංවිධාන 6 ක තහනම ඉවත්කිරීම ගැන

ජනපතිට ටී එන් ඒ ප්‍රසාදය


තහනම ඉවත් කළ ජාත්‍යන්තර දෙමළ සංවිධාන 06ක සහ තහනම තවදුරටත් ක්‍රියාත්මක කර ඇති දෙමළ සංවිධාන 15ක ලේඛන රජයේ ගැසට් පත්‍රයක් මගින් නිකුත් කර ඇත.

මේ අතර ත්‍රස්තවාදය පෝෂණය කිරීම සඳහා මුදල් ආධාර ලබාදීම, ත්‍රස්තවාදය ප්‍රචලිත කිරීම සඳහා කටයුතු කරන දෙමළ සංවිධාන පිළිබඳව අධ්‍යනය කිරීම සහ තොරතුරු සොයා බැලීමට නිසි බලධාරියකු පත්කළ බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පැවසීය.

ඒ අනුව එම නිසි බලධාරියා ලෙස ආරක්‍ෂක ලේකම්වරයා කටයුතු කරන බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

මෙම සංවිධාන සහ පුද්ගලයන් පිළිබඳව සොයාබැලීමට නිසි බලධාරියාගේ නියෝග අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, බුද්ධි ආයතනය, නීතිය බලාත්මක කරන ආයතන සහ ශ්‍රී ලංකා මහ බැංකු මූල්‍ය බුද්ධි ඒකකය සහ ආයතනයන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇත.

ඒ මගින් විදෙස් ගත දමිළ ඩයස්පෝරාවේ පුද්ගලයන් සහ සංවිධාන පසුගිය වසර කීපය තුළ ත්‍රස්තවාදය සඳහා මුදල් ආධාර සැපයීමේ ක්‍රියාකාරිත්වය අධ්‍යනයට ලක් කර සාක්‍ෂි පදනම් කරගෙන මෙම සංවිධාන සහ පුද්ගලයන් තහනම් කිරීමේ ලැයිස්තු සකස්කිරීම සහ තහනම ඉවත්කිරීමේ ලැයිස්තු ගත කිරීම සිදුකරනු ඇත.

2012 අංක 01 දරන එක්සත් ජාතීන්ගේ නියෝග යටතේ සාක්‍ෂි මත පදනම්ව විධිමත් හා ගැඹුරු තොරතුරු අධ්‍යනයකින් පසුව 2022 අගෝස්තු 01 වැනිදා අංක 2291/2 ගැසට් පත්‍රය මගින් විදේශ ගත දෙමළ ජාතිකයන් 316 හා සංවිධාන 06ක් තහනම් සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කර ඇත.

මෙසේ තහනම ඉවත් කළ සංවිධාන මෙසේය. ගෝලීය දමිළ සංසදය, ඕස්ටේ්‍රලියානු දමිළ කොංග්‍රසය, ලෝක දමිළ සම්බන්ධීකරණ කමිටුව, දමිළ ඊළාම් මහජන සභාව, බි්‍රතාන්‍ය දමිළ සංසදය සහ කැනේඩියානු දමිළ කොංග්‍රසය.

තවදුරටත් තහනම ක්‍රියාත්මක වන ජාත්‍යන්තර දමිළ සංවිධාන මෙසේය.

දමිළ විමුක්ති ඊළාම් කොටි සංවිධානය (LTTE)  දමිළ පුනරුත්ථාපන සංවිධානය (TRO) දමිළ සම්බන්ධීකරණ කමිටුව  (TCC)  ලෝක දමිළ ව්‍යාපාරය :(WTM)  දමිළ ඊළාම් දේශාතික්‍රාන්තික ආණ්ඩුව (TGTE)  ලෝක දමිළ සහන අරමුදල :(WTRF) මූලස්ථාන කණ්ඩායම් (HQ Group) කැනේඩියානු දමිළ ජාතික කවුන්සිලය (NCCT)  දමිළ තරුණ සංවිධානය (TYO)  ජාතික තවුහිද් ජමාතය (NTJ) ජමාතේ මිල්ලතෙ ඉබ්‍රාහිම් (JMI) විලායත් අස් සෙයිලානි (WAS)  දාරුල් අදර් (DA)  ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය ව්‍යාපාරය (SLISM)  සේව්ද පර්ල් (Save the Pearl)

2022.08.01 දින ප්‍රකාශිත 2291/02 ගැසට් පත්‍රයට අදාළ පූර්ව විමර්ශන කටයුතු 2022 මාර්තු මාසයේදී ආරම්භ කළ අතර ඒ අනුව රටේ හෝ රටින් පරිබාහිරව ජීවත්වන හෝ ස්ථාපිත ත්‍රස්තවාදී හෝ අන්තවාදී සංවිධාන පිළිබඳව හා එයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳවත් ඊට අදාළ මූල්‍ය, වත්කම්, ත්‍රස්ත ක්‍රියා හෝ අන්තවාදී ක්‍රියාවලට ඇති සෘජු හෝ වක්‍ර සම්බන්ධතාවයන් පිළිබඳව සොයාබලා එම පුද්ගලයන් හෝ සංවිධාන ලැයිස්තු ගත කිරීම හා ඉවත් කිරීම සිදු කරන ලදී.

මෙසේ ලැයිස්තු ගත කරන ලද සංවිධානයකට හෝ පුද්ගලයෙකුට ඒ සම්බන්ධයෙන් යම් විරෝධතාවයක් ගොනු කිරීමට අවශ්‍ය වේ නම් ඒ පිළිබඳව නිසි බලධාරියා වෙත අයදුම්පතක් ඉදිරිපත් කරමින් ලැයිස්තුවෙන් ඉවත් කරන ලෙස හේතු සාධකද සහිතව ලිඛිත ඉල්ලීමක් සිදු කිරීමට අවකාශය ඇත. එම ඉල්ලීම පිළිබඳ අදාළ අංශ විසින් පුළුල් තොරතුරු අධ්‍යනයකින් පසුව නිසි බලධාරියා වෙත කරුණු දක්වනු ලැබේ. ඉන්පසුව එම පුද්ගලයා හෝ සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කරන්නේද යන්න පිළිබඳ නිර්දේශ, විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයාට ඉදිරිපත් කිරීමේ වගකීම නිසි බලධාරියා වෙත පැවරේ. අමාත්‍යවරයාගේ තීරණය අවසන් තීරණය වන අතර අගතියට පත් පාර්ශවයන්ට මහාධිකරණය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් එම තීරණය අභියෝගයට ලක් කිරීමේ හැකියාව ඇත.

එමෙන්ම පවතින මුදල් හෝ අරමුදල් තහනමට ගැනීමෙන් කැටිකිරීමේ (Asset Freezing) නියෝගයකින් හෝ වෙනත් මූල්‍යමය වත්කම් හෝ ආර්ථික සම්පත් හෝ වෙනත් අදාළ සේවාවන් මගින් බලපෑමට ලක්වූ කිසියම් පුද්ගලයෙකුට හෝ ආයතනයකට මහාධිකරණය වෙත පැමිණිලි කිරීමේ අවකාශයද ඇත.

මේ අතර ජාත්‍යන්තර දෙමළ සංවිධාන හයක සහ පුද්ගලයන් 316 දෙනෙකුට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සංවිධානය ඊ. පී. ඩී. පී. පක්‍ෂය ඇතුළු දෙමළ පක්‍ෂ රැසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය ප්‍රසාදය පළකර සිටිති.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. ඒ. සුමන්තිරන් මහතා මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයාගේ මෙම තීරණය අගය කරණ බවයි.

මෙම දෙමළ සංවිධානවල තහනම ඉවත් කිරීම ඩයස්පෝරාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන සුහදත්වයේ සලකුණක් ලෙස සලක්නේ යැයි ඊ. පී. ඩී. පී. නායක ඩග්ලස් දේවානන්දා පවසයි.

කිසිදු පැකිලීමකින් තොරව රනිල් වික්‍රමසිංහ රජයට තම පක්‍ෂය සහාය ලබාදෙන බවද ඒ මහතා කියා සිටියේය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment