වනිඳුලාගේ ආර්.සී.බී. අවසන් වටයේ තෙවැනි තරගයට

368

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේ තෙවැනි තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්විය. ඒ පෙරේදා (25 වැනිදා) පැවැති තරගයේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ලකුණු 14කින් පාරාජයට පත්කරමින් ලැබූ ජයත් සමගිනි.

රාජත් පටිදරන්ගේ සුපිරි පිති ප්‍රහාරය හේතුවෙන් නියමිත පන්දු වාර 20දී කඩුලු 4ක් දැවී ලකුණු 207ක් රැස් කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්විය. ඒ අනුව ජයග්‍රාහි ඉලක්කය හඹා ගිය ලක්නව් කණ්ඩායමට පන්දු වාර 20 අවසානයේදී ලබාගත හැකි වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 193ක් පමණි.

රෝයල් චැලන්ජර්ස් පළමු කඩුල්ල ලකුණු 4දී බිඳ වැටීමෙන් අනතුරුව පිටියට පිවිසි රාජත් පිටිදරන් ලක්නව් පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කරමින් සිය පළමු අයි.පී.එල්. ශතකය (112) වාර්තා කළේය. පන්දු 54ක් පමණත් වැය වූ එම ශතක ඉනිමට හයේ පහර 7ක් සහ හතරේ පහර 12ක් ඇතුළත් විය.

රෝයල් චැලේන්ජර්ස් පිතිකරුවෝ හමුවේ දැඩි ප්‍රහාරයකට ලක් වූ දුෂ්මන්ත චමීර සිය පන්දු වාර 4 නිමා කරන විටදී කඩුලු නොමැතිව ලකුණු 54ක් ප්‍රතිවාදීන්ට ලබා දී තබිණි.

ලක්නව් වෙනුවෙන් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ නායක කේ.එල්. රාහුල් පන්දු 58කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 79ක් සහ දීපක් හූඩා පන්දු 26කදී හයේ පහර 4ක් සමගින් ලකුණු 45ක් රැස් කළද ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් නොවුණි.

අයි.පී.එල්. තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ගුජරාට් ටයිටෑන්ස් කණ්ඩායම මේ වනවිටත් සුදුකම් ලබා ඇති අතර සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම තේරීමේ අවසන් වටයේ තෙවැනි තරගය රාජස්ථාන් රෝයල් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර අද (27 වැනිදා) පැවැත්වේ.

ලකුණු සාරාංශය

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පන්දු වාර 20දී කඩුලු 4ක් දැවී ලකුණු 207 (රාජත් පටිදරන් (නොදැවී) 112, විරාත් කෝලි 25, දිනේෂ් කාර්තික් (නොදැවී) 37, මෝසින් කාන් 25/1)

ලක්නව් සුපර් ජයන්ට්ස් පන්දු වාර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 193 (කේ.එල්. රාහුල් 79, දීපක් හූඩා 45, ජෝස් හෙසල්වූඩ් 43/3, වනිඳු හසරංග 42/1)

advertistmentadvertistment
advertistmentadvertistment