වසර 15 කට පසු ලොතරැයි මිලත් තෑගිත් දෙගුණවෙයි – රු.20 රු.40 වෙයි

177

වසර 15 කට පසු ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය ජූලි 06 වැනිදා සිට ලොතරැයි මිල සහ ත්‍යාග මුදල් දෙගුණ කර ඇත. දිනකට ලොතරැයි මණ්ඩල දෙක මගින් ලොතරැයි හය බැගින් ලොතරැයි දොළහක් දිනුම් අදිනු ලබයි.

මේ අනුව රුපියල් 20 ක්වූ ලොතරැයියක මිල රුපියල් 40 දක්වා වැඩිවන අතර මෙතෙක් ගෙවූ අනෙකුත් ත්‍යාග මුදල් ද දෙගුණ වන බව එම ලොතරැයි මණ්ඩල දෙකේම සභාපතිවරු ඊයේ (29 දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසූහ.

මෙම මාධ්‍ය හමුව සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් නාරගල, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වෛද්‍ය චමීර යාපා අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු එම මණ්ඩල දෙකේ ඉහළ නිලධාරීහු එක්ව සිටියහ. ජාතික ලොතරැයි මණ්ඩලය ආරම්භ කර වසර 60 ක් ගතවන අතර සංවර්ධන ලොතරැයි මණ්ඩලය ආරම්භ වී වසර 40 ක් ගතවේ.

1964 වර්ෂයේදී ජාතික ලොතරැයි මණ්ඩලය ශත 50 ක ලොතරැයි මිලකින් ආරම්භ වී එය ක්‍රමක් ක්‍රමයෙන් රුපියල, රුපියල් දෙක ආදී වශයෙන් ඉහළ ගොස් රුපියල් පහ (5) පසුවී 1989 වර්ෂයේදී එය රුපියල් 10 ක මිලට ඉහළ ගොස් ඇත. පසුව 2008 වර්ෂයේදී එය රුපියල් 20 දක්වා මිල ඉහළගොස් ඇත.

තමන් සතුව දිවයින පුරා දිස්ත්‍රික් අලෙවි නියෝජිතයන් 100 ක්, අලෙවි නියෝජිතයන් 2500 ක් සහ අලෙවි සහයකයන් 21,000 ක් පමණ සිටින බවද මෙහිදී අදහස් දක්වමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් නාරගල මහතා පැවසීය. මෙහි විශේෂත්වය ලෙස මණ්ඩල දෙකේම ලොතරැයි අලෙවිය මෙම පිරිස් හරහා සිදුවන බවද ඔහු කීය.

මිල වැඩි කිරීම සම්බන්ධයෙන් වසර 03 ක සිට කථිකාවතක් පැවති බවත්, ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය අලෙවි නියෝජිතයන් ඇතුළු පිරිස් සමග සාකච්ඡා කර මිල වැඩි කිරීමට තීරණය කළ බවත් ඒ මහතා කීය. මෙහිදී ලොතරැයි අලෙවිය සියයට 60 දක්වා පවත්වාගෙන යා හැකි බවත් ඉතිරි සියයට හතළිහේ ඉලක්කයට ඉදිරි මාස කිහිපයේදී ළඟාවිය හැකි බවට බලාපොරොත්තු තබා ඇති බවත් හෙතෙම කීය.

ලොතරැයි මිල වැඩි කිරීමත් සමගලොතරැයි අලෙවි නියෝජිතයන්ට සහ බෙදාහැරීමේ අලෙවි නියෝජිතයන්ට ලබාදෙන කොමිස් මුදල සියයට සියයකින් (100%) වැඩි කිරීමට කටයුතු කරන බවද ඔහු කීය. සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ජනාධිපති අරමුදල සහ මහපොළ උසස් අධ්‍යාපන අරමුදල ඇතුළු අංශ කිහිපයකට දායකත්වය සපයන අතර ජාතික ලොතරැයි මණ්ඩලය සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂි, ක්‍රීඩා, රණවිරු, සමාජ සේවා, කම්කරු යනාදී ක්‍ෂේත්‍ර කිහිපයකට ශක්තියක් ලබාදීම සිදුකරයි. මෙම මණ්ඩල දෙක මගින් රජයට සෘජුව සහ වක්‍රව දායකත්වය සපයන බවද ඔවූහු පැවසූහ.

වසර 15 කට පසු ලොතරැයි මිලත් තෑගිත් දෙගුණවෙයි - රු.20 රු.40 වෙයි

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඊයේ (29 දා) පැවති මාධ්‍ය හමුවේදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරගල මහතා (වමේ සිට සිව්වැන්නා) මාධ්‍යවේදීන් ඇමතූ අයුරු.

ඡායාරූපයේ වමේ සිට විජිතා සෝමරත්න මෙනවිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී සංවර්ධන ලොතරැයි මණ්ඩලය, චානක දොඩංගොඩගේ (නියේජ්‍ය සාමාන්‍යාධිකාරි සංවර්ධන ලොතරැයි මණ්ඩලය), අනුර ජයරත්න (සාමාන්‍යාධිකාරි සංවර්ධන ලොතරැයි මණ්ඩලය), වෛද්‍ය චමීර සී. යාපා අබේවර්ධන (සභාපති ජාතික ලොතරැයි මණ්ඩලය), නීතිඥ හසිනි ජයසේකර (සාමාන්‍යාධිකාරි ජාතික ලොතරැයි මණ්ඩලය), ගීතා පෙරේරා (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී මූල්‍ය ජාතික ලොතරැයි මණ්ඩලය) සහ මෙනුර චතුරංග (සහකාර සාමාන්‍යාධිකාරි වෙළෙඳ) යන මහත්වරු සහ මහත්මීහුද මෙහි වෙති.

ඡායාරූපය- ජූඩ් ඩෙන්සිල් පතිරාජ

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment