වල් අලියාට කොටුවී සිටි රුසියානු සංචාරක යුවළ පොලිසියෙන් පිහිටෙන් බේරෙති

184

රථයෙන් බැස ඡායාරූපගත කරන්නට ගොස්

මින්නේරිය ජාතික වනෝද්‍යානය මැදින් දිවෙන පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ වනෝද්‍යානයට අයත් බටුඔය ප්‍රදේශයේ දී ගමන් ගත් රථයෙන් බැස වල් අලියකු ඡායාරූපගත කරන්නට ගිය රුසියානු සංචාරක යුවළකට මින්නේරිය පොලිසියෙන් පැමිණ වල් අලියා එළවා දමා කාර් රථය බේරා දෙනතුරු කැලෑවට වී සිටින්නට සිදුවීමේ පුවතක් මින්නේරිය පොලිසියෙන් වාර්තා වේ.

ඉකුත් (26දා) රුසියානු සංචාරක යුවළ සිය දසමස් හැවිරිදි බිළිඳා සහ අට හැවිරිදි දරුවාද සමග පොළොන්නරුව දෙස සිට හබරණ දෙසට ගමන් කරන අතරවාරයේ හබරණ ගණ වනාන්තරය මධ්‍යයේ දී වල් අලියකු දැක ඡායාරූප ගැනීමට රථයෙන් බැස ඇත. එසේ ඡායාරූපගත කරද්දී වල් අලියා ඔවුන් දෙසට පැමිණ ඇති අතර ඔවුන් මහපාරේ මින්නේරිය දෙසට

දිවගොස් දිවි බේරාගෙන ඇත. පසුව කාර් රථය අසලට පැමිණ ඇති වල් අලියා එය තල්ලු කර ඒ අසලම ගැවසෙමින් සිට ඇත. සිද්ධිය පිළිබඳ මින්නේරිය පොලිසිය දැනුවත් කිරීමෙන් පසු මින්නේරිය පොලිසියේ නිලධාරීන් හා වනජීවී නිලධාරීන් පැමිණ අලියා එලවා දමා කාර් රථය බේරා ගෙන ඇත. කාර් රථයේ පසුපස දොරේ වීදුරුව හා පැති කණ්ණාඩිය කැඩී ඇත. මින්නේරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් මහතාගේ මගපෙන්වීම මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒකනායක උප පොලිස් පරීක්ෂක පද්මා සැරයන් හේරත් (26717) සැරයන් උදයකුමාර (35520) යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
මින්නේරිය – සුජිත් කරුණාතිලක

advertistmentadvertistment
advertistmentadvertistment