වැඩකරන ජනතාවගේ අයිතීන් උදුරාගත් පාලක කල්ලිය සමස්ත ජනතාවගෙන්ම ප්‍රතික්ෂේප වෙලා – ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

61

ජවිපෙ රැලිය කොළඹ නගර සභාව ඉදිරිපිටදී

මැයි දිනයේ අපේ අරමුණ ලාංකීය ජනතාව අලුත් සමාජයක් වෙත ගෙනයෑම යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පක්ෂ මූලස්ථානයේ ඊයේ (27 දා) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

“ජනතා විමුක්ති පෙරමුණ ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් දැවැන්ත රැලියක් සහ පෙළපාළියක් කොළඹ දී පවත්වන්න සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. වැඩකරන ජනතාව, ගොවියන්, ධීවරයන්, තරුණ, ශිෂ්‍ය, කාන්තා විශාල පිරිසක් රට පුරාම මේ වෙනුවෙන් පෙළගැසෙමින් ඉන්නවා. පීඩාවට පත්වුණු, වැඩකරන ජනතාවගේ බලය පෙන්වන්න ඔවුන් ජනතා විමුක්ති පෙරමුණ වටා එකතු වෙනවා. “රට විකුණන ජන පීඩක, දූෂිත පාලනය පරදවමු. ජනතාවාදී පාලනයක් ගොඩනඟමු.” යන තේමාවෙන් මෙවර මැයි පෙළපාළිය සහ රැලිය පවත්වනවා.

පවතින දූෂිත සහ වංචාකාරී පාලනය රටේ අවසන් සම්පත් ටිකත් විකුණමින් ජනතාව පීඩාවට පත්කරමින් රට පාවා දෙමින් තවත් ටික කාලයකට පාලනය ගෙන යන්න උත්සාහ කරනවා. ඒ උත්සාහය පරාජය කර, ජනතාවාදී පාලනයක් ගොඩනැගීම සඳහා ජනතාව පෙළගැස්වීම අරමුණු කරගෙන මේ තේමාවෙන් අපි මැයි දිනය පවත්වනවා. මෙවර විශාල ජනතාවක් අප වටා එක්රොක්වී සිටින නිසා ගෝල්ෆෙස් පිටිය ලබාදෙන ලෙස කල්වේලා ඇතිව ඉල්ලා සිටියා. ඊට පසුව රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව මේ පිටිය කිසිම දේශපාලන රැස්වීමකට ලබා නොදෙන බවට තීරණය කළා. රනිල් වික්‍රමසිංහලාගේ ආණ්ඩුවෙන්මයි ටික කලකට පෙර ගෝල්ෆේස් පිටියේ මැයි දින බජව් පැවැත්වූයේ. ඒ වෙනුවෙන් ඉන්දියානු ගායකයෝත් ගෙන්වූවා. දැන් මැයි දින රැලියක්වත් පවත්වා ගන්න ඒ කිසිවෙකුටත් නොහැකි නිසා ජනතා විමුක්ති පෙරමුණේ රැලියට ගෝල්ෆේස් පිටිය ලබාදීම වැළැක්වූවා. මේ නිසා කොළඹ විහාර මහා දේවී උද්‍යානයත් නගර සභාවත් අතර තිබෙන මාවත මැයි රැලිය පැවැත්වීමට අපි වෙන්කර ගෙන තිබෙනවා. පෙළපාළිය බී.ආර්.සී. පිටියෙන් පටන් ගන්නවා. සවස 2ට පෙළපාළිය ආරම්භ කරන්නත්, මැයි රැලිය සවස 4ට ආරම්භ කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මේ වෙනුවෙන් මුළු රටම සූදානම් වෙමින් ඉන්නවා. අපිට ප්‍රමාණවත් ස්ථානයක් ලබා නොදීමෙන් අපේ රැලිය අඩපණ කරන්න ආණ්ඩුව උත්සාහ කළා නම්, අපි ඊට සුදුසු කොතැනක හෝ එය පවත්වනවා. ඉතිහාසයේ පාලක කණ්ඩායම් මැයි දිනය බජව්වක් කරගෙන මේ දිනයේ අර්ථය විකෘති කළා. ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය පුරාම මැයි දිනයේ ගරුත්වය සහ ඇත්ත අර්ථයෙන් මැයි පෙළපාළිය සහ රැලිය පවත්වා තිබෙනවා. මෙවරත් එවැනිම පෙළපාළියක් සහ රැලියක් පවත්වනවා. 1886 ඇමෙරිකාවේ චිකාගෝ

නුවර හේමාකට් චතුරස්‍රයේ පැවැත්වූ පැය 08ක වැඩ දිනයක් ඉල්ලා කළ අරගලය වෙඩි තබා මර්දනය කිරීමෙන් කම්කරුවන් විශාල පිරිසක් මියගියා. ඒ අරගලය සැමරීම සඳහා මැයි 01 දිනය යොදා ගැනීමට එංගල්ස්ගේ නායකත්වයෙන් යුත් සමාජවාදී ජාත්‍යන්තරය කටයුතු කළා. එතැන් සිට ලෝකය පුරාම මැයි 01 වැනිදා වැඩකරන ජනතාවගේ දිනය ලෙස සමරනවා.

බදු පීඩනය නිසා විශේෂයෙන්ම සිදුවී තිබෙන බුද්ධි ගලනයෙන් මේ රට ගොඩනඟන්න තිබෙන මානව සම්පත රටට අහිමි කරමින් තිබෙනවා. ඒ වගේම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මගින් අපේ රටේ මූල්‍ය පද්ධතිය බිඳ වැට්ටීමටත්, වැඩකරන ජනතාවගේ ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. අරමුදල් අනතුරට හෙළමින් තිබෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී විදේශීය ණය වගේම දේශීය ණයත් ප්‍රතිව්‍යුහගත කරන ලෙස කොන්දේසි පනවා තිබෙනවා. දේශීය ණය ලබාගෙන තිබෙන්නේ බැංකුවලින් සහ වැඩකරන ජනතාවගේ අරමුදල්වලින්. දේශීය ණය කපා හැරීම බැංකු පද්ධතියටත් වැඩකරන ජනතාවගේ ඊ.පී.එෆ්. අරමුදලටත් බලපානවා. ඒ සම්බන්ධයෙන් කතා කළ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ “බැංකු කඩාගෙන වැටුණොත් බැංකු වහනවා. කොටස් වෙළඳපොළ කඩාගෙන වැටුණොත් කොටස් වෙළඳපොළ වහලා දානවා” කියලයි. දැන් ඔහු පාරම්බාන්නේ බැංකු වට්ටලා හරි, කොටස් වෙළඳපොළ වහලා හරි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටුකරන්න. ඔහුගේ ස්වාමියා බවට පත්වී ඉන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. එයින් ලැබෙන ණය කොන්දේසි වෙනුවෙන් අපේ රටේ වැඩකරන ජනතාවගේ, පොදු ජනතාවගේ අයිතිවාසිකම් අහිමි කරමින් ඉන්නවා.

සේවක අර්ථසාධක අරමුදලේ මුදල් බැඳුම්කර මිලදී ගන්නත් කොටස් වෙළඳපොළේ කොටස් මිලදී ගන්නත් යොදවා තිබෙනවා. අර්ථසාධක අරමුදලේ තිබෙන්නේ ආණ්ඩුවේ සල්ලි නොවෙයි. රනිල් වික්‍රමසිංහගේ බූදලයක් නොවෙයි. මේ රටේ ජනතාවට අයිති මුදල් තිබෙන්නේ. ඒ මුදල්වලින් සූදු කෙළලා විනාශ කරන්න අයිතියක් ආණ්ඩුවට නැහැ. රනිල් වික්‍රමසිංහලා සිදුකළ මහා ආර්ථික විනාශයේ වන්දිය ගෙවීම වැඩකරන ජනතාව මත පටවන්න එක පැත්තකින් උත්සාහ කරනවා. අනික් පැත්තෙන් මේ ජනතාව බදු බරකින් බැට කනවා. බඩු මිල අධිකව ඉහළ යාමෙන් බැට කනවා. රාජ්‍ය ආයතන විකිණීමේ අනතුරටත් මුහුණ දී සිටිනවා. මෙවැනි මහජන විරෝධී ක්‍රියාමාර්ග ගන්නා විට ඊට එරෙහිව හඬ නඟන ජනතාව බියවද්දන්න ක්‍රියා කරමින් සිටිනවා. වැඩකරන ජනතාවට වෘත්තීය අරගලවල නිරත වීමේ අයිතිය ව්‍යවස්ථාවෙන් ලබාදී තිබුණත් ජනවරමක් නැති රනිල් වික්‍රමසිංහගේ පාලනය ඒ ව්‍යවස්ථාවේ අයිතීන්ටත් ඉඩ දෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂගේ ආශීර්වාදයෙන් රනිල් වික්‍රමසිංහගේ පාලනය ගමන් කරමින් සිටින්නේ වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් අහෝසි කරන මාර්ගයක. මේ නිසා වැඩකරන ජනතාව ගැන කථාකරන්න ඔවුන්ට අයිතියක් නැහැ.

එක්සත් ජාතික පක්ෂයට වගේම පොදුජන පෙරමුණටත් මැයි දිනය පැවැත්වීමට හැකියාවක් නැති වී තිබෙනවා. තාවකාලික කොන්ත්‍රාත්තුවකට පැමිණි රනිල් වික්‍රමසිංහ යටතේ එක්සත් ජාතික පක්ෂයට මැයි දිනය සැමරීමට නොහැකි වීම වැඩකරන ජනතාවගේ පැත්තෙන් ජයග්‍රහණයක්. පොදුජන පෙරමුණ පැත්තෙන් බැලුවත් ඔවුන්ට මැයි දිනයක් පැවැත්වීමට නොහැකි වීමත් වැඩකරන ජනතාවගේ ජයග්‍රහණයක්. අපේ රට විනාශ කළ, රටේ සම්පත් විකුණූ, වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් උදුරාගත් පාලක කල්ලිය සමස්ත ජනතාවගෙන්ම ප්‍රතික්ෂේප වීම සිදුවී අවසන්.

සැබෑ මහජන පාලනයක් නිර්මාණය කිරීමට ශක්තිය ධෛර්යය එක්රැස්කර ගන්නා මැයි දිනයක් බවට මේ මැයි දිනය පත්කර ගමුය කියලා ඉල්ලා සිටිනවා.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment