වැස්සයි මීදුමයි මැද අපි අතරමං වුණා – සිසු-සිසුවියෝ 5ක් රෝහලට

575

හන්තානේ මග වැරදුණු සිසුහු 183 ක්
හමුදා-පොලිස් ඒකාබද්ධ මෙහෙයුමකින් මුදා ගැනෙති
දේශගුණික තත්ත්වයන් ගැන හොඳට හොයලා මේ වගේ චාරිකා යොදාගන්න
හමුදාව සහ පොලිසිය ඉල්ලයි

“මහා මීදුමකින් ප්‍රදේශයම වැසෙන්න පටන් ගත්තා. ඒ මදිවට එකදිගටම වැසි ඇද හැලුණා. ආපසු යන පාරක් ඉදිරියවත් සොයාගන්න බැරිව අපි කැලේ අතරමං වුණා…” යැයි හන්තානේ සිරි නැරමීමට ගොස් අතරමං වූ රාගම වෛද්‍ය පීඨ කණ්ඩායමේ ශිෂ්‍යයෙක් ‘දිවයින’ ට ඊයේ (03 වැනිදා) පැවැසීය.

වැස්සයි මීදුමයි මැද අපි අතරමං වුණා - සිසු-සිසුවියෝ 5ක් රෝහලට

මෙම සිසුන් 183 දෙනා මහනුවර පොලිස් වසමේ හන්තාන, හතරේ කණුව ප්‍රදේශයේදී පොලිසිය හා යුද හමුදාව ඒකාබද්ධව ඊයේ අලුයම සොයාගත් අවස්ථාවේ එම සිසුවා එසේ කීය.

අධික සීතල හේතුවෙන් රෝගාතුර වූ සිසු – සිසුවියන් 5 දෙනකු ගිලන් රථ මගින් රෝහල්ගත කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

වැස්සයි මීදුමයි මැද අපි අතරමං වුණා - සිසු-සිසුවියෝ 5ක් රෝහලට

මහනුවර හන්තාන කන්ද තරණය කරමින් සිටි රාගම වෛද්‍ය පීඨයේ සිසු සිසුවියන් එකසිය අසූ එක්දෙනකු හා මඟපෙන්වන්නන් ලෙස කටයුතු කළ පේරාදෙණිය විශ්වවිiාලයේ සිසුන් දෙදෙනකු අයහපත් කාලගුණය සමඟ මග වැරදී පැය දහයකට අධික කාලයක් අතුරුදන්ව සිටියදී මහනුවර පොලිසිය හා යුද හමුදාව එක්ව මුදා ගැනීමට සමත්විය.

මෙම හන්තාන ගමන සඳහා රාගම වෛද්‍ය පීඨයේ සිසුන් 60 දෙනකු හා සිසුවියන් 121 දෙනකු පැමිණ තිබේ. ඔවුන් පේරාදෙණිය විශ්වවිiාලයට පැමිණ ඒ ඔස්සේ හන්තාන තරණය කිරීමට පිටත්ව ඇත්තේ පෙරේදා පෙරවරු 11 ට පමණය.

සවස 5 පමණ වන විට අධික මීදුම හා වර්ෂාව සමඟ මාර්ගය වැරදුණු බව එම සිසුහු පවසති. ඔවුන් පොලිස් හදිසි ඇමතුම් අංශයට මේ පිළිබඳව දැනුම් දීමෙන් පසු රාත්‍රී 11 ට පමණ යුද හමුදාව ද එක්කර ගනිමින් ඔවුන් සෙවීම ආරම්භ කළ අතර රාත්‍රී එකට පමණ තවත් යුද හමුදා කණ්ඩායමක් එම ස්ථානයට කැඳවන ලදී.

මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහතා හා මහනුවර III වන බලසේනාධිපති බි්‍රගේඩියර් සාලිය ඩයස් මහතා එම ස්ථානයට පැමිණ මෙහෙයුම සඳහා උපදෙස් දුන්හ.

හන්තාන කන්දට ඇතුළු වූ හතළිහක් පමණ හමුදා පිරිස විසින් මෙහි මුල්ම කණ්ඩායම ඊයේ (3 දා) අලුයම 2 ට පමණ පහළට රැගෙන ආ අතර එම ප්‍රමාණය සිසුන් සිව්දෙනෙකි. ඊළඟට රැගෙන ආ සිසුවකු හා සිසුවියක අසාධ්‍ය තත්ත්වයෙන් සිටීම හේතුවෙන් එහි සූදානම් කර තිබූ ගිලන් රථයකින් ඔවුන් මහනුවර මහ රෝහල වෙත පිටත්කර තිබේ.

මේ වනවිට එම සිසු සිසුවියන්ගේ දෙමාපියෝ ද රටේ විවිධ ප්‍රදේශවල සිට මෙම ස්ථානය වෙත පැමිණෙමින් සිටි අතර ඔවුහු තම දරුවා දැක ගන්නා තුරු නොඉවසිල්ලෙන් පසුවූහ.

පැවැති දැඩි වර්ෂාව සමඟ හන්තාන මාර්ගය ද කැඩී ගොස් ගමන් කිරීමට නොහැකි අයුරින් වළවල් සෑදී තිබීම නිසා මෙම පිරිස කන්දෙන් පහළට රැගෙන ඒම දැඩි දුෂ්කර කටයුත්තක් වී තිබුණි.

මෙම තත්ත්වය නිසාම අලුයම හතර පසුවන තුරුම ඔවුන් පහළට රැගෙන ඒම සිදුවිය.

මෙම සිසු – සිසුවියන් කන්ද තරණය කරමින් සිටියදී ඇතිවූ වැසි තත්ත්වය, දැඩි මීදුම් තත්ත්වය හා ඔවුන්ට ආපසු පැමිණීමට මාර්ගය අපැහැදිලිවීම හේතුවෙන් අතරමං වී සිටියහ.

සිසුන් මුදාගැනීමේ මෙහෙයුමේදී පොලිසියට හා යුද හමුදාවට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

වැසි හා මීදුම් තත්ත්වය පැවැතියද ඔවුන් එම බාධකවලින් නොසැලී වෛi සිසුන් සෙවීමේ කටයුත්තේ නිරත වූ බව උසස් පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවැසීය.

වෛi සිසු – සිසුවියන් මුදාගැනීමෙන් පසු ඔවුන්ට ඇතිවූ ආසාත්මිකතා හා අධික සීතල හේතුවෙන් ප්‍රථමාධාර ලබාදීමට කඳු පාමුලට වෛද්‍යවරු කණ්ඩායමක් පැමිණ සිටියහ.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් රවී හේරත් මහතා මෙසේ පැවැසීය.

“උගත් තරුණ වෛද්‍ය සිසුන් වශයෙන් ටිකක් කල්පනා කරන්න ඕනෑ, අයහපත් කාලගුණික තත්ත්වයක කන්ද නගින්න සුදුසුද කියලා. දේශගුණික තත්ත්වයන් ගැන හොඳට හොයලා මේ වගේ චාරිකා යොදගන්නවානම් හොඳයි.

මෙම මෙහෙයුම සඳහා යුද හමුදාවේ සාමාජිකයන් 80 කට වැඩි පිරිසක් සම්බන්ධ වුණා. සෑහෙන දුෂ්කරතා මැද්දෙ තමයි මේ වෛද්‍ය ශිෂ්‍යයන් මුදා ගත්තේ”

මේ පිළිබඳ මහනුවර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රසික සම්පත් මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් හා යුද හමුදාව ඒකබද්ධව වෛi සිසුන් මුදාගැනීමේ මෙහෙයුමේ නිරත වූහ.

මේ අතර අනතුරුවලට ලක්වීමෙන් වැළකීම පිණිස මේ දිනවල අධික වර්ෂාව සහ පවතින මීදුම් තත්ත්වය මත නුපුරුදු පිරිස් අනාරක්‍ෂිතව කඳු තරණය කිරීමට යෑමෙන් වළකින ලෙස මහනුවර මූලස්ථාන පොලිසිය කන්ද නැරඹීමට හා තරණය කිරීමට පැමිණෙන පිරිසගෙන් ඉල්ලා සිටී.

මෙහිදී කතාකළ මුස්ලිම් වෛද්‍ය සිසුවියක් මෙසේ පැවැසුවාය.

“අපි හවස 5.00 ට ආපසු එන්න පිටත්වුණේ. වැස්සකුත් තිබුණා. මීදුම නිසා මොකුත්ම පේන්නෙ නැතිව ගියා. මේ නිසා අපිට පාර වැරදුණා. ඊට පස්සෙ කොහෙටද යන්නෙ කියලා හිතාගන්න බැරිවුණා. ඒ වෙලාවෙ බයකුත් ආවා. අපි කට්ටියම එහෙමම හිටියා. යාලුවො 119 ට කෝල් කළා. හරියට සීතලත් දැනුණා. අපි ගෙවල්වලට කෝල් කළා.

පැය 4 කට 5 කට පස්සෙ අපි ඉන්න හරියට යුද හමුදාවයි, පොලිසියයි ආවා. පස්සෙ ඒ අය අපිව පහළට රැගෙන ගියා. පල්ලෙහාට යනවිට එතැන වෛiවරුන් පිරිසක් හිටියා. ඒ අය අපේ සෞඛ්‍ය තත්ත්වය බැලුවා.

සුරංග දිල්හාන් – ගම්පොල, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment