ශ්‍රීලනිපයත් නායකයාත් නරි රැලකගේ ගොදුරක් බවට පත්වෙලා – හොරු සමග හෙළුවෙන් සිටීමට වඩා පක්‍ෂය පිරිසිදු කරගැනීමට උත්සාහ ගනිමු

103

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ගමේ පාක්ෂිකයන් හමුවේ කියයි

අද වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එහි නායකයාත් කේලාම්කාර කපටි නරි රැලකගේ ගොදුරක් බවට පත්ව ඇති බවත් එම ග්‍රහණයෙන් පක්ෂ නායකයාත් පක්ෂයත් ගලවා ගන්නා තුරු තමා කිසි දිනෙක පක්ෂය අතහැර නොයන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහ ලේකම් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය

ඒ මහතා මේ බව පැවසුවේ පඬුවස්නුවර, හෙට්ටිපොල නගරයේ පැවති ජන හමුවක් අමතමිනි. පඬුවස්නුවර පිහිටි තම කාර්යාලයට පැමිණි දයාසිරි ජයසේකර මහතාව පාක්ෂිකයින් විසින් හෙට්ටිපොල නගර මාධ්‍යයේ බුදු මැදුර අබියසින් පිළිගෙන පෙළපාලියකින් ප්‍රධාන කාර්යාලය වෙත කැඳවා ගෙන යනු ලැබීය.

එහිදී රැස්ව සිටි පාක්ෂිකයින් ඇමතූ ජයසේකර මහතා මෙසේද කීය.

කිසියම් පිරිසකගේ ප්‍රයෝගකාරී වැඩපිළිවෙලකින් මා පක්ෂ තනතුරුවලින් පලවා හැරියත් මේ රටේ ජනතාවගේ සිත් තුළින් පාක්ෂිකයන්ගේ සිත් තුළින් පලවා හැරිය නොහැකි බව රටවටා ජනතාවගෙන් ලැබෙන උණුසුම් ප්‍රතිචාර වලින් පෙන්නුම් කරනවා. කිසිදු වග විභාගයකින් තොරව අනුන්ගේ කේලාම් බස් වලට ඇහුන්කම්දීම නායකත්වය තුළ ඇති එක් ගති ලක්ෂණයක්. මගේ නායකයා තුළ ඇති මේ ගති ලක්ෂණය ඉස්මතු වීම නිසා ඔහු වටා සිටින කේවට්ටයින්ගේ අභිමතාර්ථ ඉෂ්ඨ වී ඇත. ඔවුන් සිතන පරිදිම පක්ෂය කඩා බිඳ දැමීමේ තවත් එක් ක්‍රියා මාර්ගයක් පහසුවෙන්ම ඉටුකර ගෙන ඇත.

ජේ.ආර්.පී. සූරියප්පෙරුම මහතා වරෙක කියා තිබුණා මේ පක්ෂ ලේකම් කමත් හරියට හාමු මහත්තයගේ ලියන මහත්තායගේ වැඩක් වගේ කියල. හාමු මහත්තයට නොගැලපෙන කොයි මොහොතේ හෝ ලියන්නා කනෙන් අල්ලා එළියට දානවා. හැබැයි මමත් තනි මතයට වැඩ කළේ නෑ. හාමු මහත්තයා කළ කී දේ තමයි කළේ. ඒ නිසාම පක්ෂයේ විනය කඩපු ව්‍යවස්ථාව කඩපු පිරිස ඔවුනට එරෙහි වුණ ලියන්නා කෙරේ වෛර බැඳගත්තා. හාමු මහත්තයාගේ ආශිර්වාදයත් ඔවුනටම හිමි වුණා. එනිසාම ආණ්ඩුවේ ඇමැති කටු වෙනුවෙන් පක්ෂය කඩාගෙන පැනගිය අය අද ඇතුලේ පක්ෂයත් නායකයාත් ආරක්ෂා කරන්න පක්ෂය ගොඩ නගන්න දරදිය ඇදපු දයාසිරි අද ගෙදර. මේක මේ රටේ ඓතිහාසික හා වැදගත් පක්ෂයක ප්‍රජාතන්ත්‍රවාදයට ගැසූ මරු පහරක් යැයි පැවසීය.

පක්ෂයේ උන්නතිය සඳහා දරදිය ඇදපු මාව අනුන්ගේ කේලාම් බස් මත බල්ලෙක් වගේ එලියට ඇදල දැම්මේ. ඒත් මට කොන්දක් තියෙනවා. මට තනතුරු ලෝභයක් නෑ. නමුත් මේ කරන ලද බලු‍ වැඩේ සම්බන්ධව ලංකාවේ ඉහළම තැන දක්වා මම යනවා. මට වෙනත් සන්ධාන අලු‍ත් පක්ෂ පිළිබඳ යෝජනා, ආරාධනා එමට එනවා. ඒත් මම තව ටිකක් හෝ උත්සාගන්නේ මගේ නිවැරදි බව නායකයාට පෙන්වාදී පක්ෂයේ මේ නැතිවී ගිය ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීමටයි. මට නායකයා පිළිබඳ අමනාපයක් නෑ. මට මුලින්ම ඇමැතිකමක් දුන්නේ එතුමායි. මාව ලේකම් තනතුරට පත්කළේ එතුමායි. ඒ ගෞරවය තවමත් මා තුළ තිබෙනවා. එනිසයි මම පියෙකු ලෙස සිතා කටයුතු කළේ. මා අස්කිරීමට පෙර රාත්‍රියේදීත් අපි එකට සිට වෙන්වී ගිය නමුත් මේ තීරණය මගේ මුහුණට කීමට හැකියාවක් නොතිබීම ගැන මට ඇත්තේ කනගාටුවකටත් වඩා පුදුමයක්. (සංවේදී වෙයි) නමුත් මේ ක්‍රියා මාර්ගය හදිසි තීරණයක් නොවන මා දන්නේ ඊට පෙර දින අපේ පක්ෂයේ එක්තරා රාජ්‍ය ඇමැතිවරයෙක් පාර්ලිමේන්තුවේදී මාව ඊට පසුදාම තනතුරුවලින් පහකරන බවට රුපියල් පනස්දහසක ඔට්ටුවක් ඇල්ලීමයි.

අපි කවදාවත් මේ දේශපාලනයෙන් අයථා ලෙස බඩ වඩාගෙන නෑ. හොරා කාලා නෑ. ඒනිසා හොරු සමග හෙළුවෙන් සිටීමට වඩා තමන්ගේ පක්‍ෂ පිරිසිදු කරගැනීමට හැකි හෑම උත්සාහයක්ම ගනිමු. මම හැමදාම උත්සාහ කළෙත් එයමයි. එතෙක් කිසි දින මම ශ්‍රීලනිපය ඇත හැර නොයන්නෙමි.
බිංගිරිය – සෝමසිරි ඒකනායක

advertistmentadvertistment
advertistmentadvertistment