ශ්‍රීලනිප සන්ධානයේ නායකත්වය චන්ද්‍රිකාට

4323

ඉදිරියේ පැවැත්වෙන මැතිවරණවලට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කර ගනිමින් ගොඩනඟන නව සන්ධානයේ නායකත්වය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ලබාදීමට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් තීරණය කර ඇත.

ඒ සඳහා හිටපු ජනාධිපතිනිය කැමැත්ත පළ කර ඇති බව ද නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ මංත්‍රීවයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට නව සන්ධානය ගොඩනැගීම ආරම්භ කර ඇති බවත් වමේ පක්ෂ ඇතුළු ප්‍රධාන පක්ෂවල මංත්‍රීවරුන් සමග සාකච්ඡා අවසන් කර තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

නව සන්ධානයේ සියයට පනහක බහුතර බලය නිදහස් පක්ෂයට ද සියයට පනහක් සන්ධානගත වන අනිකුත් පක්ෂවලට ද ලබාදීමට එකඟතාවට පැමිණ ඇති බවත් ඒ සඳහා නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට සන්ධානාගත වන නායකයන් තීරණය කර ඇති බවත් එම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒ අනුව ගොඩනඟන නව සන්ධානයේ ලකුණ ලෙස බුලත් කොළය හෝ පුටුව තෝරා ගැනීමට ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිත බවත් ජනතා විමුක්ති පෙරමුණේ පැරණි මතවාදය දරන කණ්ඩායම් රැසක් මීට එක්වීමට සිටින බවත් ඔවුන් ද ඉදිරියේ පක්ෂය සමග සන්ධානගත වීමට එකඟතාව පළකර ඇති බවත් හෙතෙම කියා සිටියේය.

ඒ අනුව සන්ධානගත වන සියලු පක්ෂ නායකයන් සමග සාකච්ඡා කර නව සන්ධානයේ ප්‍රධාන රැස්වීම කොළඹදී පැවැත්වීමට නියමිත බව ද හෙතෙම සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment