සියලු බඳවා ගැනීම් නැවතී තිබුණත් ගුරු සේවයට 4000ක් බඳවා ගත්තා – බස්නාහිර පළාත් උපාධිධාරී ගුරු පත්වීම් ප්‍රදානෝත්සවයේදී ජනපති කියයි

67

වසර තුනකට පසු මෙම වසරේ දී 4000ක පමණ පිරිසක් ගුරු වෘත්තියට බඳවා ගැනීමට රජය කටයුතු කර ඇති බවත්, රටේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ඉදිරි වසර වනවිට ගුරු පුරප්පාඩු පිරවීම වෙනුවෙන් වැඩි මුදලක් වෙන් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අරලියගහ මන්දිරයේ දී ඉකුත් 03 වැනිදා පැවති බස්නාහිර පළාත් උපාධිධාරී ගුරු පත්වීම් ප්‍රදානෝත්සවය අමතමිනි.

උපාධිධාරී ගුරුවරුන් 2320කට පත්වීම් ලබාදීම මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව පත්වීම් ප්‍රදානයට එක්විය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

“ගුරුවරුන් ලෙස ඔබ භාර ගන්නේ පංති කාමරයක් නොවෙයි. ඔබ භාර ගන්නේ එම පන්ති කාමරයේ සිටින සිසු සිසුවියන්ගේ අනාගතයයි. අවුරුදු 05 සිට අවුරුදු 19 වන තෙක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් කාලය ගත කරන්නේ ඔබ සමගයි. ඒ නිසා ඔවුන්ට ගෙදරින් ලැබෙන මඟපෙන්වීම වගේම පාසලින් ලැබෙන මඟපෙන්වීමත් ඉතා වැදගත් වෙනවා. ඒ වගකීම ඉෂ්ට කළ යුත්තේ ඔබයි. ඔබට තිබෙන්නේ සිසුන්ට විෂය දැනුම ලබාදීම පමණක් නොවෙයි. මේ සිසු සිසුවියන්ගේ ජීවිතය හැඩගැස්වීමද සිදුකළ යුත්තේ ඔබයි.

අද අන්තර්ජාලයෙන්ද විෂය දැනුම ලබාගත හැකියි. නමුත් දරුවන්ගේ චරිත ගොඩනැඟීම ඒ හරහා සිදු කළ නොහැකියි. අප සියලුදෙනාගේ ජීවිත ගොඩනඟා ගැනීමේදී දෙමාපියන්ගෙන් ලැබුණු මඟපෙන්වීම වගේම ගුරුවරුන්ගේ ලැබුණු මඟපෙන්වීමත් ඉතා වැදගත් වුණා. ගුරු වෘත්තිය ඉහළ වෘත්තියක් ලෙස සලකනු ලබන්නේ ඒ නිසයි. එම ගෞරවය ආරක්ෂා කරගන්නා ලෙස මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලනවා.

ඒ වගේම ගුරුවරුන් ලෙස ඔබේ දැනුම ඉතා වැදගත් වෙනවා. අද තිබෙන්නේ දිනෙන් දින දැනුම නවීකරණය වන සමාජයක්. එසේ නම් ගුරුවරුන්ට තම විෂය දැනුම වැඩිකර නොගෙන කටයුතු කිරීමට අතීතයේ දී හැකි වුවත් අද එලෙස කිරීමට හැකියාවක් නැහැ. තව වසර 10කින්, 20කින් පමණ ඔබේ දැනුම ප්‍රමාණවත්ද කියා සිතා බලන්න. ඒ නිසා තමන්ගේ විෂය දැනුම ඉහළ නංවා ගැනීමට ගුරුවරුන් සෑම අවස්ථාවකම කටයුතු කළයුතුයි.

සියලු බඳවා ගැනීම් නැවතී තිබුණත් ගුරු සේවයට 4000ක් බඳවා ගත්තා - බස්නාහිර පළාත් උපාධිධාරී ගුරු පත්වීම් ප්‍රදානෝත්සවයේදී ජනපති කියයි

අද ගුරුවරුන් 2300ක් බඳවා ගැනීමට කටයුතු කර තිබෙනවා. තව 700කට පත්වීම් ලබාදීමට තිබෙනවා. පුරප්පාඩු අනුව තවත් ගුරුවරුන් 1000ක් පමණ බඳවා ගැනීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව මෙම වසරේ ගුරු වෘත්තියට 4000ක් පමණ බඳවාගෙන තිබෙනවා. වසර තුන හතරකින් පසුව තමයි මෙම බඳවා ගැනීම් සිදු කිරීමට හැකියාව ලැබුණේ. කොවිඩ් වසංගතය වගේම ආර්ථික කඩා වැටීම හමුවේ මේ සියලු බඳවා ගැනීම් නැවතී තිබුණා.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා –

“ගුරුවරුන් බඳවා ගැනීමට සම්මුඛ පරීක්ෂණ පවත්වන්නේ විෂය සමගාමීවයි. ඔවුන්ව පුහුණු කරන්නේ ළමුන්ට නිසි අධ්‍යාපනයක් ලබාදීමටයි. මෙවැනි ක්‍රියාදාමයක් යටතේ ගුරුවරුන් බඳවා ගන්නා විටත් ඇතැම් පිරිස් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරමින් සිටිනවා. එම නිසා 2019 වසරේ බඳවා ගත් උපාධිධාරී සංවර්ධන නිලධාරීන් ස්ථීර කිරීමට නොහැකිව තිබෙනවා. ගුරු හිඟය පියවීමට ගුරුවරුන් බඳවා ගත යුතුයි. අද මෙලෙස බඳවා ගත් ගුරුවරුන්ට අමතරව ඉදිරියේදීත් තව පත්වීම් ලබාදීමට රජය කටයුතු කරනවා.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා ද මෙහිදී සභාව ඇමැතීය.

වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, සිසිර ජයකොඩි, අරවින්ද කුමාර් යන මහත්වරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර, බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ධම්මිකා විජයසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment