කළු ගල් ටිපර් රථවලින් බිඳී ගිය – වසර 100ක් පැරණි දුමින්නේගම පාලම

276

* කළුගල් ටිපර් පාලම උඩින් යන එක  බලධාරින්ට සුබ වුණාට අපිට අසුබයි – ඩබ්ලිව්.ඒ. ජයරත්න

* අපි පරම්පරා ගනණාවක් භාවිතාකළ  පාලම කළුගල් හිමියන්ට ලියලා දීලා – ටී.එම්. සෝමලතා

* ඉදිරියේදී කළුගල්වළවල් සඳහා  බලපත‍්‍ර ලබා දෙන්නේ නෑ – මැදවච්චිය ප‍්‍රාදේශීය ලේකම් එම්.සී. මලවආරච්චි

කළු ගල් ටිපර් රථවලින් බිඳී ගිය - වසර 100ක් පැරණි දුමින්නේගම පාලම

දුමින්නේගම ගම්මානය සහ මැදවච්චිය නගරය යා කෙරෙන වසර 100ක් පැරණි එකම පාලම සහ මාර්ගය කළු ගල් ව්‍යාපාරිකයින්ගේ කළු ගල් පිරවූ ටිපර් රථ ධාවනය හේතුවෙන් බිඳී ගොස් ඇති බවත් බලධාරින් කෙතෙක් දැනුවත් කළද එයට මෙතෙක් විසඳුම් ලබාදී නැති බවත් දුමින්නේගම ගම්වාසීහු පවසති.

මැදවච්චිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 77 තුලානේ පිහිටා ඇති දුමින්නේගම ගම්මානය මැදවච්චිය පිහිටා ඇති තවත් එක්තරා දුෂ්කර ගම්මානයකි. පවුල් 137 ක්, ජනග‍්‍රහණය 500 ට අධික වූ පිරිසක් දුමින්නේගම ගම්මානයේ සිටිති. කර්කෂක වූ පොළොවත් සමග පොර බදිමින්  ගොවිතැන තම ජීවනෝපාය කරගත් මෙම ගම්මානයේ අහිංසක ජනතාව නගරයේ පිහිටි රෝහලට මෙන්ම අත්‍යඅවශ්‍ය සේවාවන් සඳහා මැදවච්චිය නගරයට සහ දරුවන් පාසලට පැමිණෙනු ලබන්නේ දුමින්නේගම ගම්මානයත් මැදවච්චිය නගරයත් යා කරමින් වර්ෂ 1920 දී ඉදි කර ඇති පාලමක් ආධාරයෙනි. ශක්තිමත් ලෙස ඉදි කර ඇති මෙම සපත්තු පාලම මගින් ඇති මාර්ගය මෙම ගම්මානයට පැමිණීමට සහ පිටවීමට ඇති එකම මාර්ගයයි.

මීට වසරක සිට මෙම ගම්මානයට ඇති එකම මාර්ගය දුමින්නේගම ගම්මානයේ ජනතාවගෙන් උදුරාගෙන, කළු ගල් හිමියන්ට භාවිතා කිරීමට මැදවච්චිය බලධාරින් කටයුතු කරදී ඇත. ඒ අනුව ලිඳවැව, දුමින්නේගම සහ එහි අවට මේවන විට කළු ගල් කොරි 05 ක් පිහිටා ඇත. මෙම ගල් කොරිවල සිට දෛනිකව කළු ගල් පැටවූ ටිපර් රථ 70 ක් 80 ක් පමණ මෙම දුමින්නේගම මාර්ගය ඔස්සේ ගමන් කරමින් තිබේ. ඒඅනුව පුරා වසර 100 ට ආසන්න කාලයක් ගමත් නගරයත් යා කෙරුණ දුමින්නේගම පාලම බිඳී යෑමේ තර්ජනයකට මේවන විට ලක්ව ඇත. එයට විරෝධය පෑමට දුමින්නේගම ජනතාව පෙරමුණ ගෙන ඇති අතර ඒසඳහා මෙම පිරිස් සියලූ‍ බලධාරින් දැනුවත් කර ඇත. නමුත් මෙම අසරණ ජනතාවට ඇහුම්කම් දීමට කිසිදු බලධාරියෙකු සමත්නොවූ බව වැඩිදුරටත් ගම්වාසීහු කියති.

අදහස් දක්වන දුමින්නේගම ඩබ්ලිව්.ඒ. ජයරත්න මහතා

‘‘දුමින්නේගම මාර්ගයේ පිහිටා තිබෙන මේ පාලම 1920 වර්ෂයේ ඉදි වූ පාලමක්. දැන් ටිපර් රථ මේ පාරේ යන්න පටන් අරන් තියෙනවා. කළු ගල් ප‍්‍රවාහණය කරමින් අවුරුද්දක ඉදලා තමයි මේ මාර්ගය ඒ අය පාවිච්චි කරන්නේ. දවසට කළු ගල් පැටවූ ටිපර් රථ 70 ක් 80 ක් පමන මේ පාරේ යනවා. එහි ප‍්‍රථිපලය මැදවච්චිය  රැඹෑව බලධාරින්ට සුබ වුණාට අපිට අසුබයි. කොටින්ම කියනව නම්  ගමට ඇති එකම ගමත් නගරයත් යා කෙරෙන පාලම මේ ටිපර් රථ අධික බර පටවාගෙන යාම නිසා බිඳී ගොස් හමාරයි. අපි බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ එන්න අපි කියන්නේ බොරුද කියලා ඇවිත් බලන්න. ඒසී කාමරවල ඉඳලා තීරණ ගන්නේ නැතුව ඔය කාමරවලින් එළියට බැහැලා අපේ ගමට, ගමේ ජනතාවට වෙලා තියෙන අකටයුත්ත පිළිබද සොයලා බලලා මේ දුමින්නේගම ගම්මානය හරහා මේ කෙරෙන කළු ගල් ප‍්‍රවාහනය නවත්වලා දෙන්න කියලයි. මේ වෙනකම් එයට සාධාරණයක් සිදු වුණේ නෑ. ගොඩාක් අය කළු ගල් හිමිකරුවන්ගේ මුදලට, බලයට, තර්ජනවලට යට වෙලා.

ටී.එම්. සෝමලතා මහත්මිය

නගරයත්, අපේ ගමත් සම්බන්ද වන එකම මාර්ගය අද වන විට කැඩිලා. පාලම අද හෙටම සමතලා වෙනවා. අපි පරම්පරා ගනනාවක් භාවිතා කළ දුමින්නේගම පාලම මීට අවුරුද්දක සිට කළු ගල් හිමියන්ට ලියලා දීලා. ටිපර් රථ ධාවනය කරන නිසා මේ පාලම බිඳිලා. අපිට මේ පාලම නැතුව නගරයට, දරුවන්ට පාසලට, රෝහලට යන්න විකල්ප පාරක් නෑ. අපි බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් මෙයට පියවරක් අරන් දෙන්න කියලයි.

එච්. විමලසේන ගොවි මහතා,

අපේ ගමේ සම්පත, කොඳු නාරටිය මේ පාලම. අද බලධාරින් හොයලා බලන්නේ නැතිව ඔඩර් දීලා කළු ගල් අරන් යන්නෙ ඒ පාලම උඩින්. මේ නිසා පාලම බිඳිලා දැන්. අපි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුලූ‍ සියලූ‍ ආයතන දැනුවත් කළා. ඒත් වැඩක් නෑ. වහාම මේකට පිළියමක් කරන්න කියලා බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.

අප මේ පිළිබඳ මැදවච්චිය වර්තමාන ප‍්‍රාදේශීය ලේකම්තුමිය වන එම්.සී. මලවආරච්චි මහත්මියගෙන් විමසීමක් කළා. ඒ අනුව ඉදිරියේදී මෙම කළු ගල්වලවල් සඳහා බලපත‍්‍ර ලබා නොදීමට කටයුතු කරන බව මැදවච්චිය ප‍්‍රාදේශීය ලේකම් එම්.සී. මලවආරච්චි මහත්මිය පැවසුවා. එවිට එම මාර්ගයෙන් කළු ගල් ප‍්‍රවාහණයක් සිදු නොවන බවද ඒ මහත්මිය වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.

මැදවච්චිය-ගයාන්
 

advertistmentadvertistment
advertistmentadvertistment