හිරුණිකාට එරෙහි නඩුවේ සීසීටීවී දර්ශන ජුනි 1 දා උසාවියේ ප්‍රදර්ශනය කරන්නැයි නියෝග

141

තරුණයකු පැහැරගෙන යෑමට ආධාර අනුබලදීම හා සාපරාධී බියගැන්වීම ඇතුළු අධිචෝදනා 19 ක් යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ නඩු භාණ්ඩ ලෙස නම් කර ඇති එම පැහැර ගැනීමට අදාළ සී. සී. ටී. වී. දර්ශන ලබන 1 වැනිදා තම අධිකරණය හමුවේ ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (09 දා) නියෝග කළේය.

එම නඩුවේ සාක්ෂි විභාගය ඊයේ (09 දා) විවෘත අධිකරණය හමුවේ පැවැත්විණි.

එහිදී පැමිණිල්ලේ පළමුවන සාක්ෂිකරු ලෙස කැඳවා තිබූ එලෙස පැහැර ගැනීමට ලක්වූයේ යැයි කියන අමිල ප්‍රියංග අමරසිංහ නමැත්තා පැමිණිල්ල මෙහෙය වන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දෙමින් මෙලෙස පැවසීය. ඒ සිද්ධිය වුණේ 2015.12.21 වැනිදා දහවල් මම එතකොට වැඩ කරමින් සිටියේ දෙමටගොඩ ලකි ස්ටාර් රෙදිපිළි වෙළඳසලේ. පොඩි ගැහැනු ළමයකු සමඟ එතනට ආව පිරිමි තුන්දෙනෙක් මාව කතා කරන්න ඕනෑ කියලා ඇතුල්වීමේ දොර ළඟින් එළියට එක්ක ආවා.
එතන සී. සී. ටී. වී. තියෙනවා දැකලා මාව පිටුපස්සට එක්කගෙන ගිහින් කොරළයෙන් ඇදගෙන කළුපාට ඩිෆෙන්ඩර් එකකට දාගෙන පහර දුන්නා. ඊට පස්සේ ඒකෙන්ම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මිස්ගේ කාර්යාලයට අරගෙන ගියා. මාව ඇගේ කාර්යාලයට තුළට අරගෙන යද්දි එතන මාධ්‍යවේදීන් කට්ටියක් ඉඳලා එළියට ගියා. හිරුණිකා පුටුවෙන් නැගිටලා ඇවිත් “මෙයාද මෑන් කියලා ඇහැව්වාම එතන හිටිය කෙනෙක් කිව්වා මෙයා තමයි මෑන් කියලා” ඇය මේසෙ උඩ වාඩිවෙලා මාව පැහැරගන්න ආව කෙනෙක්ව පෙන්නලා ඔයා මෙයාගේ බිරිඳ සමග සම්බන්ධයක් තියෙනවද කියලා මගෙන් ඇහැව්වා. මම ඔව් කිව්වා.

මෙයා මගේ දේශපාලන වැඩවලට ගොඩාක් උදව් කරලා තියෙනවා. එයාගේ කීම අහක දාන්න බැරි නිසයි ඔයාව අරගෙන ආවේ කියලා ඇය කියද්දි මම කීවා ඇයි මාව මෙහාට අරගෙන ආවේ වරදක් කරලා තියෙනවා නම් මාව පොලිසියට භාර දෙන්න තිබුණනේ කියලා. කෝ චමිලා කියල ඇය ඇහැව්වාම මම කීවා ඇය කොටිකාවත්තේ ඉන්නවා කියලා. එතන හිටිය කෙනෙක් මගේ අයිඩෙන්ටිය අරගත්තා. හිරුණිකා මට කීවා ගිහින් චමිලාව එක්කරගෙන එන්න හැංගෙන්න එපා මට බලයක් තියෙනවා. යාපනේ හැංගුණත් හොයා ගන්නවා කියලා.

උඹලගේ බොස් උඹව ගෙනාවා කියලා පොලිසියට පැමිණිල්ලක් දාලා තියෙනවා. ඒක අස්කර ගනින් කියලා එතන හිටිය කෙනෙක් මට කීවා. චමිලාව එක්කගෙන එන්න ගියා. මම ත්‍රීවිල් එකකින් බෝඩින් කාමරයට ගොස් ඇයව හිරුණිකා මිස්ගේ කාර්යාලයට එක්කගෙන ආවා. චමිලා හා ඇගේ සැමියා හිරුණිකා මිස්ගේ කාර්යාල කාමරයේ වාඩිවී සිටියා. හිරුණිකා මිස් චමිලාගෙන් ඇහැව්වා ඇයි ඔයා මෙයාව දාලා අරුත් එක්ක ගියේ මොකක්ද ප්‍රශ්නය කියලා. එවිට චමිලා කිව්වා ඇගේ සැමියා අනවශ්‍ය වීඩියෝ පෙන්නලා ඒවයේ විදියට ඔහුත් එක්ක ඉන්න කියලා කරදර කරනවා. ඒ කරදර නිසයි මාත් එක්ක ගියේ කියලා. එතකොට හිරුණිකා මිස් හිනාවෙලා කීවා ඕවා සාමාන්‍ය දේවල් මගේ ෆෝන් එකෙත් මේ වගේ වීඩියෝ තියෙනවා කියලා.”

ඒ දෙන්නට එතන ඉන්න කියලා මට ත්‍රීවිල් එකක් කතා කරලා දීලා කීවා පැහැර ගැනීම ගැන බොස් පොලිසියට දාපු පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්න කියලා. මම රෙදි කඩේ හිමිකරු එක්ක දෙමටගොඩ පොලිසියට ගොස් පැමිණිල්ලක් දැම්මා. පොලිසිය එදා රෑම මාව රෝහලට ඇතුළත් කළා.

වැඩිදුර විභාගය ලබන මස 1 වැනිදා දක්වා කල්තැබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment