අධික උණුසුමෙන් යුරෝපයේ හා ඇමරිකාවේ මිලියන ගණනක් රත්වෙයි

409

මිනිසා විසින් නිර්මාණය කරන ලද දේශගුණික විපර්යාසයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් යුරෝපා රටවල් බොහොමයක මෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ හා ජපානයේ කොටසක අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වයක් (හීට් වේව්) හටගෙන තිබීම නිසා මිලියන සිය ගණනක ජනතාවට මෙම දිනවල නිවෙස්වලට වී සිටින ලෙස බලධාරීන් විසින් සෞඛ්‍ය අවදානම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඉතිහාසයේ මෙතෙක් රටවල් ගණනාවකට එකවර බලපා ඇති දරුණුතම අධික උණුසුම් කාලගුණ තත්ත්වය සේ මෙය සැලකෙන අතර සෙල්සියස් අංශක 40 ඉක්මවූ අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් ඇති වීම හේතුවෙන් ඉතාලියේ නගර 16කට සෞඛ්‍ය අවදානම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව වාර්තා වේ. ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිට ටෙක්සාස් ප්‍රාන්තය දක්වා වෙසෙන මිලියන 110කට අධික ජනතාවට නිවෙස්වලට වී සිටින ලෙස බලධාරීන් විසින් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ (17දා) දිනයේ නැගෙනහිර ජපානයේ බොහෝ ප්‍රදේශවලට සෙල්සියස් අංශක 40ට ආසන්න උෂ්ණත්වයක් බලපා තිබූ අතර ජපානයේ උතුරෙන් පිහිටි ප්‍රදේශවලට ඇද හැලුණු ධාරානිපාත වැසි හේතුවෙන් හට ගෙන තිබූ නායයෑම් නිසා දහස් ගණනක් ජනතාව සිය නිවෙස්වලින් ඉවත් කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

පවතින අධික උණුසුම හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති යුරෝපා රටවල් වනුයේ ් ඉතාලිය, ග්‍රීසිය, ස්පාඤ්ඤය, ප්‍රංශය, ජර්මනිය හා පෝලන්තයයි. ඉතාලියේ අගනුවර වන රෝමයේ උෂ්ණත්වය ඊයේ දිනයේ සෙල්සියස් අංශක 43ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර ඇමරිකා එක්සත් ජනපදයේ නගර 38ක උෂ්ණත්වය වාර්තාගත අයුරින් ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි. ලොව අධිකම උෂ්ණතත්වයක් පවතින ප්‍රදේශය සේ සැලකෙන කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි ‘ඩෙත් වැලි’ ප්‍රදේශයේ උෂ්ණත්වය පෙරේදා (16දා) දිනයේ සෙල්සියස් අංශක 53,9ක් (ෆැරන්හයිට් අංශක 128ක් ) දක්වා ඉහළ ගොස් තිබිණි. පවතින අධික උෂ්ණත්වය මත ස්පාඤ්ඤයට අයත් කැනේරි දූපත් හා නැගෙනහිර හා බටහිර කැනඩාවේ ප්‍රදේශවල දරුණු ලැව් ගිනි ඇවිලෙමින් පවතින අතර කැනඩාවේ පවතින ලැව් ගිනිවලින් නිකුත් වන දුමාරය හේතුවෙන් යාබද ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන මිලියන 60කට ආසන්න ජනකායකට සෞඛ්‍ය අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව වාර්තා වී තිබේ. යුරෝපයේ හා ඇමරිකාවේ හටගෙන ඇති අධික උණුසුම් කාලගුණ තත්ත්වයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ නිවෙස් නොමැති හා අඩු ආදායම්ලාභී එළිමහනේ සේවය කරන සිය නිවෙස්වල විදුලි පංකා නොමැති ජනතාව වන අතර විජලනය ඇති වීම වැළැක්වීම සඳහා නිතර ඇල් ජලයෙන් සිරුර තෙත් කරන ලෙස ඔවුන්ගෙන් සෞඛ්‍ය බලධාරීන් ඉල්ලීමක් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment