අපේ රජයක් යටතේ රාජ්‍ය දේපළ කොල්ලකන යුගය අවසන් කරනවා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

73

දැන් මේ රටේ පවතින්නේ හොර ආණ්ඩුවක් යැයි ද එම හොර ආණ්ඩුව පලවා හරින දිනය වැඩි ඈතක නැතැයි ද ඉන්පසුව පිහිටුවන සමගි ජන බලවේගයේ රජයක් යටතේ මේ රටේ රාජ්‍ය දේපළ කොල්ලකන යුගය අවසන් කරන්නේ යැයි ද සමගි ජන බලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් පේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා එසේ පැවසුවේ බියගම, පේරගස්හන්දිය ‘ලව්ලි’ ක්‍රීඩාංගණයේ පැවති සමගි ජන බලවේගයේ බියගම ආසන බල මණ්ඩල රැස්වීම අමතා කතා කරමිනි.

බියගම සජබ ප්‍රධාන සංවිධායක හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී යූ. ජෝර්ජ් පෙරේරා මහතා විසින් මෙය සංවිධානය කරනු ලැබීය.

මෙම රැස්වීම අමතා වැඩිදුරටත් කතා කළ විපක්ෂ නායක සජිත් පේමදාස මහතා මෙසේ ද කීවේය.

මේ වනවිට මේ රටේ සෑම කෙනෙක්ම අසිමිත පීඩනයකින් ඉන්නේ. මේක තමයි මහ පොළොවේ යථාර්ථය. අද රට බංකොළොත්. එය අපි කවුරුත් පිළිගන්නවා. රට බංකොළොත් කළ පුද්ගලයන් කවුරුන් ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනාවරණය කළා. එම තීන්දුව ප්‍රජාතන්තරවාදී ඉතිහාසයේ ලබා දුන් ඓතිහාසික විප්ලවීය තීන්දුවක් ලෙසට අපි දකිනවා.

අද හොරුන්ට රුකුලක් දෙන හොර ආණ්ඩුවක් පවතින්නේ. ඒ නිසා මේ හොර ආණ්ඩුව පලවා හරින්නට ඕනැ. ඔවුන් හොරා කාපු මුදල් නැවත අපි රටට ලබා ගන්නට ඕනැ. එවැනි රජයක් අපි බිහි කරනවා. ඒ විතරක් නෙමෙයි. රාජ්‍ය දේපළ කොල්ලකන යුගය අපි අවසන් කරනවා. ඒ සඳහා සෑමදෙනාම ජාති, ආගම් හා කුල භේදයකින් තොරව එකට එක්විය යුතුයි. ඊට ජනතාවට නායකත්වය ලබා දීමට සමගි ජන බලවේගය ඉදිරිපත් වෙනවා.

අපි ඕනෑම අවස්ථාවක ජනතාව වෙනුවෙන් රටේ වගකීම භාර ගන්නට සුදානම්. අපි ඒ වගකීම භාර ගන්නේ ජනවරමකින් බලය ලබා ගැනීමකින් පමණයි. නමුත් හොරුන් එක්ක රටේ පාලන බලය ලබා ගන්නට අපි සුදානම් වන්නේ නැහැ. ඒකයි එදා අපි එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ ඇරැයුම ප්‍රතික්ෂේප කෙළේ.

රට බංකොළොත්වීම මත මේ රටේ ලක්ෂ 220 ක්වු ජනතාව අගතියට පත් වෙලා. අපි බලයට පත්වු වහාම ඔවුනට වන්දි ලබා ගැනීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කරනවා. ඒ විතරක් නෙමෙයි. රට බංකොළොත් කළ පුද්ගලයන් නීතිය හමුවට පමුණුවා ඔවුනට උපරීම දඬුවම් ලබා දෙනවා.

අපි බංකොළොත්වූ මේ රට ගොඩ නගන්නට කටයුතු කරනවා. නමුත් දැන් අපට තිබෙන ප්‍රධානම ප්‍රශ්නය ඩොලර් ප්‍රශ්නයයි.ඩොලර් ලබා ගැනීමට හැකි වූවහොත් රට ගොඩ නැගීම අපහසු කාර්යයක් වන්නේ නැහැ. ඒ සඳහා අපි මේ රට ඩිජිටල් අපනයන කේන්ද්‍රීය විප්ලවයකට යොමු කරන්නට ඕනැ.

එවැනි ඩිජිටල් විප්ලවයක් කිරීමට අවශ්‍ය වන සැලසුම් අපි ළඟ තිබෙනවා. ඩිජිටල් විප්ලවය තුළින් බියගම නිදහස් වෙළෙඳ කලාපය ද ඩොලර් උපදවන මධ්‍යස්ථානයක් බවට පත් කරනවා.

සමගි ජන බලවේගය විපක්ෂයේ සිටිමින් රටට අලුත් ආදර්ශයක් ලබා දී තිබෙනවා. ඒ තමයි අපි විපක්ෂයේ සිටිමින් ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා සේවය කිරීම. ඒ අනුව මේ වනවිට අපි දිවයිනේ පාසල් 54 කට සුහුරු පන්ති කාමර ලබා දී තිබෙනවා. පාසල් 80 කට බස්රථ ලබා දී තිබෙනවා. රජයේ රෝහල් 56 කට මිනිස් ජිවිත බේරා ගැනීම සඳහා වෛද්‍ය උපකරණ හා ඖෂධ ලබා දී තිබෙනවා.

නමුත් මේ රටේ මෙතක් බලයට පත්වු සෑම නායකයෙක්ම ජනතාවට සේවාවක් කෙළේ ආණ්ඩු බලයේ සිටියදීයි. ඔවුන් විපක්ෂයේ සිටි කාලයේ ජනතාවට සේවාවක් කර නැහැ. අපට ලැබෙන අරමුදල් සියල්ලක්ම යොදවා තිබෙන්නේ මේ රටේ අධ්‍යාපනය හා සෞඛ්‍යය පද්ධතිය දියුණු කරන්නටයි. අපි විපක්ෂයේ සිටිමින් ඉටු කරන ජනතා මෙහෙර ගැන වටහා ගෙන තිබෙන ජනතාව අපි බලයට පත්වුවිට රටට සේවාවක් කරයි යන විශ්වාසයක් ඔවුන් දැන් ඇති කර ගෙන තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක , ආචාර්ය හර්ෂ ද සිල්වා, හර්ෂණ රාජකරුණා , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා පේමචන්ද්‍ර , බියගම සජබ ප්‍රධාන සංවිධායක හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී යූ. ජෝර්ජ් පෙරේරා , බියගම කොට්ඨාස කළමනාකරු රවි කුරේ හා බියගම සමගි වනිතා සංවිධානයේ සභාපතිනි එරන්දි හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහු ද කතා කළහ.

මේ අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමාන්, නියෝමාල් පෙරේරා , විපක්ෂ නායකවරයාගේ උපදේශක ආචාර්ය ධනවර්ධන ගුරුගේ, හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනී නිරෝෂා අතුකෝරල හා සමගි ගුරු සේවක සංගමයේ ලේකම් ප්‍රියන්ත පත්බේරිය යන මහත්ම මහත්මීහු ද මහර, වවුනියාව හා මුලතිව් යන ආසනවල සජබ ප්‍රධාන සංවිධායකවරුන් ද බියගම ප්‍රාදේශිය සභා හිටපු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී නිමල් රංජිත් මහතා ඇතුළු සජබ ප්‍රාදේශීය සභා අපේක්ෂක කණ්ඩායම ද සහභාගි වූහ.
දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම – සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment