අමාත්‍යාංශයේ නිලධාරීන් මුදල් කාරක සභාව කර ඇරලා කමිටුවේ අප්‍රසාදය

115

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට මුදල් අමාත්‍යංශයේ වගකිවයුතු නිලධාරීන් නොපැමිණීම ගැන කමිටුවේ අප්‍රසාදය පළ කර තිබේ.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීම පෙරේදා (25දා) රැස්වී තිබේ.

ජනාධිපතිවරයා 2048 වන විට ළඟා කර ගැනීමට සැලසුම් කරන තිරසාර සැලසුමට අදාළව සාකච්ඡා පැවතියත් මුදල් අමත්‍යාංශය සතුව ඒ සඳහා උපාය මාර්ගික සැලැස්මක් නැති බවද එහිදී හෙළිවී තිබේ.

මුදල් අමාත්‍යාංශය අදාළ කරුණු සාකච්ඡාවට ගැනීම සඳහා නිලධාරීන් කැඳවන විට පාර්ලිමේන්තුවට වගකියන අමාත්‍යාංශ ප්‍රධානීන් කාරක සභාව හමුවේ පෙනී සිටිය යුතු බව මෙහිදී අවධාරණය කෙරිණි.

මුදල් අමාත්‍යංශය විසින් 2023 ජුනි මස අවසන් වන විට මූල්‍ය තත්ත්වය මෙහිදී ඉදිරිපත් කරන ලදී. මෙම වාර්තාවට අනුව අයවැයේ ප්‍රාථමික ශේෂය 0.1% ක අතිරික්තයක් විය. ප්‍රධාන වශයෙන් භාණ්ඩ හා සේවා මත වැට් බද්ධ සැලකිය යුතු ලෙස ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස ආදායම් එකතු කිරීම වාර්ෂිකව 41.9% කින් බිලියන 1.317 දක්වා ඉහළ ගොස් ඇත. පළමු අර්ධය සඳහා වියදම බිලියන 2.560 ක් වූ අතර එය 40.5% ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. විශාලතම වැඩිවීම වී ඇත්තේ දේශීය පොලී වියදම වන අතර එය මේ වසරේ පළමු භාගයේ දී බිලියන 1.273 දක්වා 51.6% කින් ඉහළ ගොස් ඇති බවද එහිදී හෙළිවිය.

රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, මධුර විතානගේ, හර්ෂණ රාජකරුණා, ආචාර්ය නාලක ගොඩහේවා සහ මයන්ත දිසානායක යන මහත්වරු මෙම කාරක සභා රැස්වීමට එක්ව සිටියහ.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment