අයි.එම්.එෆ්. තුන්වැනි වාරිකයට කාර්ය මණ්ඩල එකඟතාවක්

97

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ණය වැඩසටහනේ දෙවන සමාලෝචනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමග කාර්ය මණ්ඩල එකඟතාවකට එළැඹුණ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානිී පීටර් බෲවර් මහතා පැවසීය.

මෙම දෙවන සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණය සහ එහි විධායක සභාව විසින් අනුමත කළ පසු ශ්‍රී ලංකාවට එම ණය මුදලේ තුන්වන ණය වාරිකය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 337ක මුදලක් ලැබෙනු ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

මහ බැංකු මූලස්ථානයේදී ඊයේ (21දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පීටර් බෲවර් මහතා මේ බව කීවේය.

මෙම දෙවන සමාලෝචනයට අදාළ කාර්ය මණ්ඩල එකඟතාව සඳහා ඉදිරි කාලය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණයේ සහ විධායක සභාවේ අනුමැතිය ලැබිය යුතුව ඇති බව ද පීටර් බෲවර් මහතා කීය.

ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන අත්කරගෙන ඇති ප්‍රගතිය ප්‍රශංසනීය බවත් එමගින් සාර්ථක ප්‍රගතියක් ලබාගනිමින් සිටින බවත් බෲවර් මහතා කියා සිටියේය.

අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාවේ උද්ධමනය පහත වැටුණු බවත්, ඒ වෙනුවෙන් රජය අනුගමනය කළ ක්‍රියාමාර්ග ගැන ප්‍රසංසනීය වන බවත් සඳහන් කළ පීටර් බෲවර් මහතා කියාසිටියේ ආර්ථිකය වර්ධන මාවතකට ගැනීම සඳහා පාලන දුර්වලතා සහ දූෂණ අවදානම් තීරණාත්මක බව ද සඳහන් කළේය.

ඇමෙරිකාු ඩොලර් මිලියන 337ක තෙවන වාරිකය ලැබීමත් සමඟ මෙම ණය වැඩසටහනට අදාළව ශ්‍රී ලංකාවට ලබාදෙන ලද මුළු මුදල ඇමෙරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ යනු ඇති බව ද ඔහු තවදුරටත් කීවේය.

මෙම මාධ්‍ය හමුව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත ස්වට් ජෙහාන් සහ මූල්‍ය අරමුදලේ මෙරටට පැමිණි ධූත මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානි කට්සියර්නා ස්විරිඩ් සෙන්කා යන මහත්මීහු ද එක්ව සිටියහ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment