බුදුදහම විනාශ කරන අයට දඬුවම් දීමට අවශ්‍ය නීති රීති සම්පාදනය කිරීම රජයේ වගකීමක් – ශ්‍රී රෝහණ පාර්ශ්වයේ ප්‍රධාන අනුනායක ඕමාරේ කස්සප හිමි

78

දැනට ශ්‍රී ලංකාවේ පවතින නිර්මල බුදු දහම විනාශ කර දැමීමට ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන් විවිධ බලවේග යොදමින් බලපෑම් කරමින් කටයුතු යොදා තිබෙනවා. ඉතා කෙටි කලක සිට බුදු දහම විනාශ කිරීමට විකෘති කිරීමට නොයෙක් ආකාරයෙන් සැරසෙනවා යැයි ශ්‍යාමෝපාලි මහා වංශික ශ්‍රී රෝහණ පාර්ශ්වයේ ප්‍රධාන අනුනායක ඕමාරේ කස්සප මාහිමිපාණන් වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ කඹුරුපිටිය සපුගොඩ ඉලංගම්ගොඩ පුරාණ විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඕමාරේ කස්සප නාහිමියෝ මෙසේද පැවසූහ.

කෙටි කාලයක සිට විවිධ පුද්ගලයන්, විවිධ සංවිධාන හා විවිධ ආයතන මගින් බුද්ධ ශාසනය විනාශ කිරීමට, පිරිහීමට පත්කිරීමට කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. මෑතදී නතාෂා එදිරිසූරිය නැමැත්තිය ගෙන් ආරම්භ වූ විනාශය මේ වනවිට අවලෝකතීශ්වර නමින් පෙනී සිටින තැනැත්තා දක්වා

ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වුණා. මේ සියල්ල වනතෙක් භික්ෂූන් වහන්සේලා, බොදු මහ ජනතාව හා රජයේ වගකිව යුතු නිලධාරින් අන්ද මන්ද කරමින් බුදුදහමට සහ භා සංඝරත්නයට අපහාස කළ සංසිද්ධිය දියාරු කිරීමට වගකිවයුත්තන් ගත් ක්‍රියාමාර්ග කුමක්ද?

මේ ඊනියා අවලෝකතීශ්වර බෝසතුන් නමින් පෙනී සිටින පුද්ගලයා මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ පුද්ගලයාට ඇප ලබාදී නිදහස් කිරීමට පෙර වහාම මෙවැනි පහත් නින්දිත විනාශකාරී ක්‍රියාවන් සිදු කරනු ලබන පුද්ගලයන්ට දඬුවම් දීමට අවශ්‍ය නීති රීති සම්පාදනය කිරීමට රජයටත් වගකීමක් තිබෙනවා.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවැනි වගන්තිය අනුව බුදුදහම ආරක්ෂා කොට පෝෂණය කරන්නේය යන වගන්තිය වගන්තියටම පමණක් සීමා නොවී ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතුයි.

මුලටියන – කේ. වසන්ත

advertistmentadvertistment
advertistmentadvertistment