ෆිෆා ශ්‍රී ලංකා කලාපීය තරගාවලිය අද ඇරඹේ

70

අපි ඉන්න තැන අපිට මැන ගන්න පුළුවන් තරගාවලියක් – ශ්‍රී ලංකා නායක සුජාන් පෙරේරා කියයි

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් අහිමිවූ කණ්ඩායම් අතර කලාපීය මට්ටමින් ප්‍රථම වරට ක්‍රියාත්මක කෙරෙන ෆිෆා ජාත්‍යන්තර සුහද තරගාවලිය ආරම්භ කරමින් මධ්‍යම අප්‍රිකානු රාජ්‍යය හා භූතානය කොළඹ තුරඟ තරග ක්‍රීඩාංගණයේදී අද (22 වැනිදා) පස්වරු 3.00ට තරග වැදීමට නියමිතය.

සත්කාරක ශ්‍රී ලංකාව, භූතානය, මධ්‍යම අප්‍රිකානු රාජ්‍යය හා පැපුවා නිව්ගිනියාව සහභාගි වන සිව් කොන් තරගාවලියක් ලෙස මෙම තරගාවලිය පැවැත්වේ.

එම තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද රාත්‍රී 8.45 ට පැපුවා නිව්ගිනියා කණ්ඩායම අතර පැවැත්වේ.

තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (21දා) කොළඹදී පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකා නායක සුජාන් පෙරේරා සඳහන් කළේ මෙම තරගාවලිය ශ්‍රී ලංකාව සිටින තැන පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි තරගාවලියක් බවයි.

‘මේ තරගාවලිය අපිට අපි ඉන්න තැන බලාගන්න පුළුවන් හොඳ තරගාවලියක් වේවි. විදෙස් ක්‍රීඩකයන් දාහතර දෙනෙක් අපි සමග එකතුවෙලා ඉන්නවා. ගොඩක් වෙනස්කම් කණ්ඩායමේ දැකගන්න පුළුවන් වේවි. අපේ ඉදිරි ගමන තීරණය වන තරගාවලියක් ලෙස මේ තරගාවලිය හඳුන්වන්න පුළුවන්. අපේ අන්තිම සංචිතය දවස් තුනක් හතරක් අපි පුහුණුවීම් කළා. ඊට කලින් දෝහාවල ප්‍රැක්ටිස් කළා.

අපි උපරිමයෙන් කළොත් තරගාවලිය හොඳින් අවසන් කරන්න පුළුවන් වෙයි. අපේ තරග දෙක රෑට තියෙන්නේ ක්‍රීඩකයන් ගොඩ දෙනෙක් රාමසාන් සමරන නිසා. විදෙස් ක්‍රීඩකයන් අපට ලොකු ශක්තියක්. ඔවුන්ගෙන් ගන්න පුළුවන් අත්දැකීම් සහ දැනුම අපිට ගොඩක් වටිනවා. තරුණ ක්‍රීඩකයන් ගොඩක් අපිත් එක්ක ඉන්නවා. ඒ නිසා මේ මිශ්‍රණය අවසානයේ හොඳ දෙයක් ගෙන ඒවි. තරගයෙන් පිටත් විදෙස් ක්‍රීඩකයන්ගෙන් අපිට ලබාගත හැකි දේ බොහෝයි. ඔවුන්ගේ පැමිණීම හොඳයි. මොකද අපි තවම ඉන්නේ 205යේ. විදෙස් පීඩකයෝ ඇවිත් තරග ජයග්‍රහණය කරන්න පුළුවන් වුණොත් අපේ රෑන්කින් උඩ යනවා. එතකොට අපිට අනුග්‍රාහකයන් සොයාගන්න පුළුවන් වෙයි” යනුවෙන් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පුහුණුකරු ඇන්ඩි මොරිසන් මහතා පැවසුවේ දේශීය ක්‍රීඩකයන්ට අසාධාරණයක් නොවන ලෙස විදේශීය ක්‍රීඩකයන්ට අවස්ථාව සලසා දිය යුතු බවයි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment