අස්වැසුමෙන් දුප්පතුන් කබලෙන් ළිපටම

593

ඇස්බැන්දුමක් – සජිත් ප්‍රේමදාස

රටේ දුප්පත් ජනතාව ලක්‍ෂ 70 ක් සිටියදී ලක්‍ෂ 12 කට සහන සැලසීමේ අරමුණ කුමක්ද? මේක අස්වැසුමක් නොවේ, ඇස්බැන්දුමක්. එම ලක්‍ෂ 12 තෝරා ගත්තේ සමීක්‍ෂණයක කුමන දත්ත මතදැයි තමා ප්‍රශ්න කරන බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත්කරමින් පවසයි. එහි මෙසේද දැක්වේ.

මෙරට සියයට දාහතරක්ව පැවති දුප්පත්කම මේ වනවිටත් 31% දක්වා ඉහළ ගොස් ඇති අතර රටේ සමස්ත දුප්පත්කම ලක්‍ෂ 70 ඉක්මවා තිබේ.

රෝහල්වලට අවශ්‍ය ඖෂධ හිඟවීම හේතුවෙන් මේ වනවිට ශ්‍රී ලංකාව ඉතාම දරුණු සෞඛ්‍යමය ඛේදවාචකයක් කරා ඇදීයමින් සිටී. ඖෂධ හිඟය, ඖෂධ මිල අධික ලෙස ඉහළ යෑම, ඖෂධ හරහා කළ වංචා දූෂණ යනාදී සියල්ල එකට ගත්විට සමස්ත ආණ්ඩුව මේ රටේ රෝගී ජනතාවගේ ජීවිත සමග පවා සෙල්ලම් කරමින් සිටී.

ආණ්ඩුව පළමුකොට කළ යුතුව තිබුණේ රටේ පවත්නා සත්‍ය තත්ත්වය අවබෝධ කර ගැනීම උදෙසා රටේ පවත්නා සත්‍ය තත්ත්වය විනිවිද දැකිය හැකි සමීක්‍ෂණයක් සිදුකිරීමය. ඒ වෙනුවට ආණ්ඩුව උගුරට හොරා බෙහෙත් බොන්නට ගොස් මුළු රටටම අවදානමක් කරා තල්ලු කොට තිබේ. මේ මොහොතේ රටට තීරණාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කෙරෙන ගනුදෙනුව පවා පොදු අරමුණකින් එකට එක්ව රට ගැන සිතා කරනු ලබන්නක් නොව හුදෙක් සිය පටු අරමුණු මුදුන්පත් කරගනු පිණිස කරනු ලබන්නක් බවට ආණ්ඩුව පත්කොට තිබේ. මේ සියල්ල තුළින් ගම්‍ය වන්නේ අවස්ථාවාදී ආණ්ඩුවේ අදූරදර්ශී අත්තනෝමතික ක්‍රියාවලිය මිස අන් කිසිවක් නොවේ.

මේ තත්ත්වය වෙනස් කොට ජනතාවාදී චින්තනයක් තුළින් රට ගොඩනැඟිය හැක්කේ නව ජනවරමක් හරහා බව නැවත නැවතත් අවධාරණය කරන අතර ඒ වෙනුවෙන් ආණ්ඩුවට කළ හැකි සියලු බලපෑම් කරන බව ද අවධාරණය කරමු.

රටෙහි පවත්නා තත්ත්වය අවබෝධ කොටගෙන ලර්න් ඒෂියා ආයතනය විසින් සිදුකරන ලද සමීක්‍ෂණය ප්‍රකාරව රටේ ලක්‍ෂ 70 ක දුප්පත් ජනගහනය ඉලක්ක කර ගනිමින් අස්වැසුම ක්‍රියාත්මක කළ යුතු අතර මෙතෙක් හුදු පටු අරමුණු ඉලක්ක කර ගනිමින් අවිද්‍යාත්මකව තෝරාගෙන ඇති පිරිස වෙනුවට විද්‍යාත්මක වැඩපිළිවෙළක් හරහා සැබෑ අවශ්‍යතාවයන් ඇති පිරිස තෝරා ගත යුතු බවත්, රටෙහි පවත්නා බරපතළ ඖෂධ හිඟයට පිළියම් කඩිනමින් යෙදිය යුතු බවත් ඊට අවශ්‍ය කරන සහයෝගය සමගි ජනබලවේගය ලබාදෙන බවත් සිහිපත් කරමු.

මේක පස්වැසුමද – ඩලස් අලහප්පෙරුම

සාගින්නෙන් පෙළෙන මිනිසුන්ගේ ජීවිතවලට අස්වැසුම ද පස්වැසුමද කියා තේරුම් ගත නොහැකි යැයි නිදහස් ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

පවතින තත්ත්වය හමුවේ මව්බිම තුන් බියෙන් බේරා ගැනීම සඳහා විපක්‍ෂයේ සියලු දෙනාටම එකට එක්වී එකම දේශපාලන සූත්‍රයක් සජ්ඣායනය කිරීමට හොඳම කාලය පැමිණ ඇතැයි නිදහස් ජනතා සභා කාර්යාලයේ පෙරේදා (24 දා) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා පැවසීය.

ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් මෙසේද කීය.

මුළු රටම තුන් බියකින් පෙළෙන අවස්ථාවක වර්තමාන රජය අස්වැසුම නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යනවා. මෙහි අරමුණ දැනට සමෘද්ධි ප්‍රතිලාභ සහ අනෙකුත් ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ ලක්‍ෂ 12 ක් දක්වා අඩු කිරීමයි. බඩගින්නෙන් පීඩාවෙන් කන්න නැතිව දුක්විඳින ජනතාවක් ඉන්න රටක මේක කරන්න පුළුවන්ද? මේක බරපතළ ප්‍රශ්නයක්.

මේ රජය විශ්වාස කරන සංඛ්‍යා ලේඛන හරිද? සමෘද්ධි, වකුගඩු, වැඩිහිටි, ආබාධිත දීමනා ඇතුළු අනෙකුත් සහනාධාර ලබන ප්‍රමාණය බැලුවම ලක්‍ෂ 24 කට වැඩියි. මේ සියල්ල අහිමි කරලා ජනතාව ඉතා පහත් දුක්ඛිත තත්ත්වයට පත් කරන්නයි මේ උත්සාහ කරන්නේ.

අද වනවිට ලෝක බැංකුව කියනවා ලංකාවේ පවුල් ලක්‍ෂ 58 කින් සියයට 20 ක් ඒ කියන්නේ පවුල් ලක්‍ෂ 11 ක් වගේ ආසන්න ප්‍රමාණයකගේ දෛනික ආදායම ඇමරිකන් ඩොලර් තුනයි දශම හයක (3.6) මට්ටමේ පවතිනවා කියලා. මේ එක පවුලක තුන් දෙනෙක් ඉන්නවා කියලා ගත්තොත් මේ ජන ප්‍රමාණය ලක්‍ෂ 33 ක් වෙනවා. ඇමරිකන් ඩොලර් තුනයි දශම හයයි කියන්නේ දෛනිකව රුපියල් 1000 ට අඩුයි කියන එකයි. එහෙම ජනතාවක් ගැන තවත් මොනවා කතා කරන්නද?

චමින්ද සිල්වා, කඹුරුපිටිය – පී. එල්. ජයවර්ධන

ප්‍රපාතයට තල්ලු කිරීමක්-රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක

විනිවිද පෙනෙන විද්‍යාත්මක ක්‍රමවේදයෙන් තොරව අස්වැසුම ප්‍රතිලාභීන් හඳුනා ගැනීමෙන් ඇති හැකි පොහොසතුන්ට මූල්‍ය සහනාධාරය හිමිවීම අඩු ආදායම්ලාභීන් ප්‍රපාතයට තල්ලු කිරීමක් බව ක්‍රීඩා යෞවන කටයුතු රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා චෝදනා කරයි.

උදව්වක් අවශ්‍යම අඩු ආදායම්ලාභී පවුල් නොසලකා හැර ඇති බවත් ඔවුන් රජය දැඩි දෝෂදර්ශනයට ලක්කිරීමට පියවර ගෙන තිබෙන බවද පැවසීය. අස්වැසුම ප්‍රතිලාභීන් හඳුනාගැනීමේ රාජකාරී සඳහා වසම් භාර රාජ්‍ය නිලධාරීන් අනුයුක්ත නොකර දෛනික වැටුපට වෙනත් පිරිසක් යොදා ගැනීමෙන් මෙම අවුල සිදුවී තිබෙන බවද රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේය. වසම් භාරව සේවය කරන රාජ්‍ය නිලධාරීන්ගෙන් තමන්ට ලැබුණ තොරතුරුවලට අනුව අස්වැසුම සුදුසුකම්ලාභීන් ඉවත්කර තිබෙන බව තහවුරු කළැයි ද ඔවුන් පැවසුවේ අත්දැකීම් නැති දරුවන් සංගණනයට යොදා ගැනීමෙන් මෙම අවුල සිදුවූ බවත් මෙමඟින් රජය ජනතා හෑල්ලුවට පත්වීම වැළැක්වීමට වහාම මැදිහත්වීම අවශ්‍ය බව ද රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේය. අඩු ආදායම්ලාභී සමෘද්ධි පවුල් ඇති හැකි පවුල් ලෙස ඉහළට ඔසවා තැබීමට වසර ගණනාවක් තිස්සේ පත්වූ ආණ්ඩු විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ ද අද දක්වාම සමෘද්ධි පවුල් අඩුවූ බවක් පෙනෙන්නට නැතැයි ද මෙවර සැබෑ දුප්පතුන් හළා පොහොසත් පවුල් ඉහළට ඔසවා තබන්නට කළ හඳුනා ගැනීම හකුලා ගත යුතු බව ද රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment