ආසියානු කුසලාන අවසන් මහා සටන හෙට

410

පකිස්තානයට එරෙහිව කඩුලු 2 ක තියුණු ජයග්‍රහණයක් ලබමින් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාව එම කුසලානය දිනා ගැනීමේ අටියෙන් ඉන්දියාව සමග හෙට (17 වැනිදා) සටනට පිවිසේ.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට ප.ව. 3.00 ට තරගය ආරම්භ වීමට නියමිත අතර ශ්‍රී ලංකාව පසුගිය වර කුසලාන ශූරයන් ලෙස මෙවර තරගාවලියට එක් වූයේය.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට ආසියානු කුසලානය 6 වතාවක් ජයග්‍රහනය කර ඇති අතර ඉන්දියාව 7 වතාවක් එහි ශූරයන් වී තිබේ.

අද තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ හොත් ඉන්දියාව සමග ශූරතාවය දිනු අවස්ථා ගණන සමාන වනු ඇත.

16 වැනි වරට පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකාව මෙවර සුදුසුකම් ලබා තිබෙන්නේ එකොළොස් වැනි වතාවටය.

අවසන් පන්දුව තෙක්ම ජයග්‍රාහී කණ්ඩායම කවුරුන්ද යන්න තීරණය කිරීමට නොහැකි තරමටම අතිශය තියුණුකාරී මුහුණුවරක් ගත් පාකිස්තානයට එරෙහි තරගයේදී අවසන් පන්දුවේදී ශ්‍රී ලංකාව ජය වාර්තා කළේය.

වර්ෂාවෙන් බාධා වීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 42 ක් ඇතුළත ලකුණු 252 ක ඉලක්කයක් හිමි වුණු අතර එහිදී කඩුලු 8 ක් දැවී ශ්‍රී ලංකා පිතිකරුවෝ ඉලක්කය පසුකර ගියේ අවසන් පන්දුවේදීය.

අවසන් පන්දු 2 දී ශ්‍රී ලංකා ජයග්‍රහණයට ලකුණු 6 ක් අවශ්‍ය වූ අතර එම පන්දු දෙක යැවූ සමාන් ඛාන් හමුවේ පස්වැනි පන්දුවට තර්ඩ් මෑන් කලාපය දෙසින් පන්දුව හතරේ සීමාවට යැවූ අසලංක අවසන් පන්දුවේදී ෆයින්ලෙග් කළාපයට පන්දුව යොමු කරමින් ලකුණු 2 කට පැති මාරු කර ගත්තේය.

තරගය හමාර වන විට පන්දු 47 කට මුහුණ දී සිටි චරිත් අසලංක හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමඟ ලකුණු 49 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට සැනසුම් සුසුම් ගෙන ආවේය. තරගයේ අවසන් කොටස අසලංකට ඇදගෙන යෑමට ප්‍රධාන අඩිතාලම එක් කළ කුසල් මෙන්ඩිස් අද දිනයේදීත් ශතකය පෙනි පෙනී දැවී ගියේ ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා වෙමිනි. පන්දු 87 කට මුහුණ දුන් කුසල් හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 91 කට දැවී ගියේ මොහොමඩ් හැරිස්ගේ සුපිරි උඩ පන්දු රැකීම හමුවේය. මෙම සුවිශේෂී ඉනිම ප්‍රධාන කොට ඔහුට තරගයේ වීරයා සම්මානය ද හිමිවිය.

දිමුත් කරුණාරත්න වෙනුවට එම තරගයට කැඳවා තිබූ කුසල් පෙරේරා (17) දුවද්දී දැවී යෑමකට හසුව දැවී ගියද පැතුම් නිස්සංකට එක් වූ කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 60 කදී ලකුණු 57 ක්ද සධීර සමරවික්‍රම සමඟ එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 98 කදී ලකුණු 100 ක් ද රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළහ. කුසල්ට අනගි සහායක් ලබා දුන් සධීර පන්දු 47 කදී ලකුණු 49 ක් රැස් කරමින් සිටියදී සීමා ඉරෙන් ඉදිරියට පැන පහරක් එල්ල කිරීමට යෑමේදී කඩුල්ල අහිමි කර ගත්තේය.

වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා ප.ව. 5.15 දක්වා ප්‍රමාදව ඇරඹුණු මෙම තරගයේදී එක් පිලකට පන්දු වාර 45 කට සීමා විය. කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානු කණ්ඩායමේ පළමු කඩුලු 5 ම ලකුණු 130 කදී උදුරා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. 28 වැනි පන්දු වාරයේ සිව්වැනි පන්දුව යැවීමත් සමඟ තරගයට යළිත් බාධා පැමිණීම නිසා තරගය මිනිත්තු කීපයක්ම නතර කර තැබීමට විනිසුරුවන්ට සිදුවිය.

එතෙක් වේලා ශ්‍රී ලංකා කණ්ඩායමේ වාසියට තිබුණු තරගයේ සියලුම වාසි වර්ෂාවෙන් පසු පාකිස්තානු පිල වෙත අද්දවා ගැනීමට මොහොමඩ් රිස්වාන් සහ ඉෆ්තිකාර් අහමඩ් සමත් වූහ. ඒ 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 78 කදී ලකුණු 108 ක සම්බන්ධතාවක් පවත්වමිනි. මෙය ආසියානු කුසලාන තරගයකදී පාකිස්තානු කණ්ඩායමක් 6 වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ඉහළම වාර්තාව ලෙසින්ද සනිටුහන් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් වැඩිම කඩුලු ලාභියා බවට පත්වූයේ මතීෂ පතිරණ වන අතර ඔහු කඩුලු 3 ක් දවා ගත්තේය. අවම ලකුණු සංඛ්‍යාවක් දෙමින් වේල්ලාලගේ තම පන්දු වාර 9 ලකුණු 40 කදී කඩුලු 1 ක් වශයෙන් සටහන් කර ගන්නා විටදී මතීෂගේ පන්දු වාර 8 දී ලකුණු 65 ක් ලබා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත්ව සිටියහ. කසුන් රජිත වෙනුවට කණ්ඩායමට පැමිණ සිටින ප්‍රමෝද් මදුෂාන් ලකුණු 58 ක් ඇතුළත කඩුලු 2 ක් දවා ගත්තේය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment