ඉන්දීය ධීවරයන්ගේ බලහත්කාරකම්වලට විරෝධය පා උතුරේ ධීවරයෝ උපවාසයක

33

ඉන්දීය ධීවරයන්ගෙන් උතුරේ ධීවරයන්ට සිදුවන අසාධාරණකම්වලට විරෝධය පළකිරීමක් වශයෙන් යාපනයේ ධීවර සංගම් නියෝජිතයෝ පෙරේදා (19 දා) සිට දහවල් නිරාහාර උපවාසයක් ආරම්හ කොට තිබේ.

යාපනයේ ධීවර සංගම් නියෝජිතයෝ මරතඩි හන්දියේ සිට විරෝධතා පා ගමනකින් යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත ගොස් ඒ ඉදිරිපිට මෙම උපවාසය ආරම්භ කරන ලදී. අනතුරුව ස්වල්ප වේලාවකින් එතැනට පැමිණි පොලිසිය උපවාසකරුවන්ව එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගත් අතර පසුව ඔවුන් ඊට මඳක් නුදුරින් පිහිටි යාපනයේ ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලය ආසන්නයේ එම උපවාසය දියත්කොට තිබේ.

උපවාසකරුවන් කියා සිටින්නේ මේ දිනවල ඉන්දීය ධීවරයන් විශාල ප්‍රමාණයක් උතුරු මුහුදට බලහත්කාරයෙන් පැමිණ මසුන් මැරීමේ කටයුතුවල නිරත වන අතරවාරයේ උතුරේ ධීවරයන්ට අයත් දැල් කැපීමත්, ධීවරයන්ට පහරදී බිය ගන්වන බවත්ය.

නාවික හමුදාවට අත්අඩංගුවට ගැනීමට හැකි වන්නේ මුහුදට පැමිණෙන ඉන්දීය ධීවරයන්ගෙන් සියයට දහයක පමණ ප්‍රමාණයක් නිසා මේ ප්‍රශ්නයට වහාම රජය මැදිහත් වීමක් අවශ්‍ය බව උපවාසකරුවෝ කියා සිටිති.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment