සඳට ගිය සතුට අඩපණ කරන කාලකන්නි සංස්කෘතියක් ඉන්දීය තරුණයන් අතර නැති එක සතුටක් – විමල් පාර්ලිමේන්තුවේදී කියයි

2476

බිලියන ගණනක් වියදම් කර සඳ තරණය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව විඳින සතුට අඩපණ කර ගැරහීම් කරන කාලකන්නි සංස්කෘතියක් ඉන්දීය තරුණ පරම්පරාව තුළ නොමැතිවීම ගැන සතුටු වන බවත් එය මෙරට තරුණයන්ට ද ආදර්ශයක් බවත් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24 දා) පැවසීය.

ඉන්දියාව සඳ තරණය කරමින් චන්ද්‍රයාන් – 3 යානය සාර්ථකව සඳ මත ගොඩ බැස්සවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් සුබ පැතුම් එක් කළ අතර ඉන් පසුව ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් වීරවංශ මන්ත්‍රීවරයා මේ බව කීය.

එහිදී එම මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.

“අපේ අසල්වැසි රට ඉන්දියාවට ලෝකයේ හතරවැනි රට ලෙස සඳ තරණය කිරීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා සහ අපේ ප්‍රසාදය පළ කරනවා. ඒ වගේම මේ වැඩේට බිලියන ගණනක් ඉන්දියාවට වැය වන විට, ඉන්දියාවේ මෙච්චර දුප්පතුන් ඉන්නවා, ඉගෙන ගන්න නැති ළමයි ඉන්නවා ආදී දේවල් කියා ඒ සතුට අඩපණ කරන කාලකන්නි සංස්කෘතියක් ඉන්දීය තරුණ පරම්පරාව තුළ නොමැතිවීම ගැන අපි සතුටු වෙනවා. ඉන්දීය තරුණ පරම්පරාව මොන කුලය වුණත්, මොන ජාතිය වුණත්, තම ජාතික කොඩියත් එක්ක, ජාතීත්වයත් එක්ක හිට ගන්නවා. එහෙම නැතුව රටේ තිබෙන අඩුපාඩු එක්ක සඳ තරණය ගැන කාලකන්නි ගැරහීමකට ඒ සමාජය ගිහින් නෑ. විශේෂයෙන්ම ඉන්දීය සිනමාව එහිදී විශේෂ කාර්යභාරයක් කරලා තිබෙනවා. අපේ තරුණ පරම්පරාවත් ඉන්දීය තරුණයන්ගෙන් ඉගෙන ගන්න කියන එක මේ වෙලාවේ අවධාරණය කරනවා” යැයි පැවසීය.

ඊට පෙර කතා කරමින් චන්ද්‍රයාන් 3 යානය සාර්ථකව සඳ මතට ගොඩ බැස්සවීම ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය රජයට සුබ පතමින් විශේෂ ප්‍රකාශයක් කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

සජිත් රොකට් එක අදියි: සුසිල් නෑ නෑ කියයි

තුන්පාරම ඉන්දියාවට ගියේ ඩොලර් මිලියන 263යි මෙරට සුප්‍රීම් සැට් එකට ඩොලර් මිලියන 320ක් ගියා – විපක්‍ෂ නායක සජිත්

ලංකාවෙන් එහෙම එකක් යවලා නෑ – ඇමැති සුසිල්

ඉන්දියාවට සඳ මතට චන්ද්‍රයාන් යානය යැවීම සිදු කළ අවස්ථා තුන සඳහාම වියදම් වී ඇත්තේ ඇමරිකන් ඩොලර් මිලියන 263ක් වුවද මෙරටින් ගුවන් ගත කළ සුප්‍රීම් සැට් නමැති යානය වෙනුවෙන් වැය කළ මුදල ඇමරිකන් ඩොලර් මිලියන 320ක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24 දා) කීය.

ඉන්දියාව 2008, 2019 සහ 2023 දී චන්ද්‍රයන් වන්, ටූ සහ ත්‍රී කියන උත්සාහයන් තුනක් සිදු කොට තමයි සඳ මතට සාර්ථකව යානයක් ගොඩ බැස්සවූවේ. මේ ක්‍රියාදාමයන් තුනටම ඉන්දියාවට වැය වී තිබෙන්නේ ඇමරිකන් ඩොලර් මිලියන 263ක් පමණයි.

නමුත් අපේ රටේ සුප්‍රීම් සැට් එක ක්‍රියාත්මක කරවන්න 2012 දී ඇමරිකන් ඩොලර් මිලියන 320ක් වියදම් වී තිබෙනවා. මේ ගැන මුළු රටම දැන ගන්න ඕනා. මේ ගැන මම වාර්තාවක් ඉල්ලනවා ආණ්ඩුවෙන්. මොකද මිලියන 320ක් වියදම් කරලා හඳට නොවෙයි රට වළපල්ලමට යවලා තිබෙනවා.

කෙසේ වෙතත් සභානායක ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ තමන් එවකට විද්‍යා හා තාක්ෂණ ඇමැතිවරයා ලෙස කටයුතු කළ ද මෙරට කිසිවකු සුප්‍රීම් යානාවක් හඳට යැව්වා කියා තමන් කිසිම දැනුවත්වීමක් සිදු නොවූ බවය.

කෙසේ වෙතත් 2012 දී එවැනි යානාවක් යැව්වේ නම් මේ වන විට සඳේ පස් පවා රැගෙන ආයුතු කාලය එළඹ ඇති බවත් එබැවින් මෙරට කිසිවකු සුප්‍රීම් යානාවක් යැවීම ප්‍රබන්ධ කතාවක් බවත් ඇමැතිවරයා කීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment