ඉන්දීය ධීවර ආක්‍රමණයට එරෙහිව යාපනයේ දැවැන්ත විරෝධතාවක්

205

ඉන්දීය ධීවරයන් බලහත්කාරයෙන් උතුරු මුහුදු සීමාවට පැමිණ මසුන් ඇල්ලීමේ පිළිවෙත වහාම නතර කොට දෙන ලෙස ඉල්ලමින් උතුරේ ධීවර සංගම් කීපයක් යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී පෙරේදා (20 දා) දැවැන්ත විරෝධතාවක් දියත් කළහ.

මෙම විරෝධතාව දියත් කරන බව උතුර ධීවර සංගම් විසින් මීට සතියකට ඉහතදී නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට හා යාපනයේ ආරක්ෂක අංශවලට දැනුම් දී තිබුණි.

විරෝධතාව පැවති ස්ථානයට පොලිසිය පැමිණ විරෝධතාකරුවන් ඉවත් කිරීමට පියවර ගත් නමුත් විරෝධතාකරුවෝ තරයේම කියා සිටියේ ඔවුන්ට නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස්වරයා හමු වී මේ පිළිබඳව සාකච්ඡා කිරීමටත්, ඔවුන් විසින් රැගෙන එන ලද ඉල්ලීම් ඇතුළත් ලිපිය ඔහුට භාරදීමට අවශ්‍ය බවත්ය.

මේ අවස්ථාවේදී පොලිසිය එහි නිලධාරීන් සමග සාකච්ඡාකොට උතුරේ ධීවර සංගම් හතක නියෝජිතයෝ හත් දෙනකුට නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස්වරයා හමුවීමට අවස්ථාව ලබා දුන්නේය.

නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස්වරයා මේ සම්බන්ධයෙන් ඉන්දීය රජයට කරුණු ඉදිරිපත් කොට යම් සහනයක් සලසා දීමට උතුරේ ධීවර සංගම් නියෝජිතයන්ට පොරොන්දු වී තිබේ.

ඒ අතර වාරයේ සෙසු ධීවරයෝ නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටට වී සටන් පාඨ කියමින් උද්ඝෝෂණය කළේය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment